පසුගිය ඉරිදා (මාර්තු 15) පැවැත්වූ 98 වන ඔස්කාර් සම්මාන උළෙලේදී අභාවප්‍රාප්ත වූ කලාකරුවන් සිහිපත් කෙරෙන ‘In Memoriam’ උපහාර අංශයට එරික් ඩේන් ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ‘Grey’s Anatomy’ නිර්මාණකාරිනී ෂොන්ඩා රයිම්ස් සිය අදහස් පළ කර තිබේ. ඇය පෙන්වා දෙන්නේ ඔස්කාර් සම්මාන උළෙල ප්‍රධාන වශයෙන් සිනමා තරු කෙරෙහි අවධානය යොමු කරන බවත්, එරික් ඩේන් වඩාත් කැපී පෙනෙන “රූපවාහිනී තරුවක්” (TV Star) වීම මෙයට හේතුව බවත්ය.
‘Grey’s Anatomy’ හි ‘McSteamy’ ලෙස සහ ‘Euphoria’ කතා මාලාවේ රංගනයෙන් අතිශය ජනප්‍රිය වූ එරික් ඩේන්, වසරක පමණ කාලයක් ALS රෝගයෙන් පීඩා විඳීමෙන් පසු පසුගිය පෙබරවාරි 19 වන දින වයස අවුරුදු 53දී අභාවප්‍රාප්ත විය. ඔහු ‘X-Men: The Last Stand’ සහ ‘Marley & Me’ වැනි චිත්‍රපට කිහිපයකට දායක වී තිබුණද, ඔස්කාර් සංවිධායකයන් මෙවර රොබට් රෙඩ්ෆර්ඩ් වැනි සිනමා දැවැන්තයන්ට වැඩි ඉඩක් ලබා දී තිබුණි.
ෂොන්ඩා රයිම්ස් විශ්වාසය පළ කරන්නේ එළඹෙන එම්මි සම්මාන උළෙලේදී රූපවාහිනී ක්ෂේත්‍රය විසින් ඔහුට හිමි විය යුතු ඉහළම ගෞරවය සහ උපහාරය ලබා දෙනු ඇති බවයි. “ඔහු අපූරු, පරිත්‍යාගශීලී මිනිසෙක්. රූපවාහිනී ක්ෂේත්‍රය ඔහුව අමරණීය කරන ආකාරය දැකීමට මම බලා සිටිනවා” යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා තිබේ.














