2025 වසරේ ක්‍රිකට් පිටියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන වාර්ෂික ESPNcricinfo සම්මාන උළෙලේදී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සියලුම කාන්තා සම්මාන අංශයන් තමන් සතු කර ගැනීමට සමත් විය. ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ ගෞරවය ද සමඟින්, ජෙමීමා රොඩ්‍රිගස් වසරේ හොඳම එක්දින පිතිකාරිණිය ලෙස සම්මාන ලැබූ අතර දීප්ති ෂර්මා හොඳම එක්දින පන්දු යවන්නිය ලෙස තේරී පත් විය. ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කෞර් වසරේ හොඳම කාන්තා නායිකාව ලෙසත්, ඇය WPL අවසාන මහා තරගයේදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් වසරේ හොඳම විස්සයි-20 ලීග් පිතිකාරිණිය ලෙසත් සම්මාන දෙකකට හිමිකම් කීවාය.
පිරිමි අංශයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝඩ්ස් පිටියේදී ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ලෝක ටෙස්ට් ශූරතාව (WTC) දිනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සම්මාන කිහිපයක් දිනා ගත්තේය. එහිදී ඒයිඩන් මාක්‍රම් හොඳම ටෙස්ට් පිතිකරණ සම්මානය දිනාගත් අතර, දකුණු අප්‍රිකාව ටෙස්ට් ශූරතාව කරා මෙහෙයවූ ටෙම්බා බවුමා වසරේ පිරිමි නායකයා ලෙස සම්මානයට පාත්‍ර විය. ටෙස්ට් පන්දු යැවීමේ සම්මානය අළුබඳුන තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් සතු විය. මේ අතර චැම්පියන්ස් ට්‍රොෆි තරගාවලියේදී වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයේ ඉබ්‍රාහිම් සද්‍රාන් වසරේ හොඳම එක්දින පිතිකරණ සම්මානය දිනාගත් අතර, ඉන්දියාවේ වරුන් චක්‍රවර්ති හොඳම එක්දින පන්දු යවන්නා ලෙස තේරී පත් විය.
විස්සයි-20 ජාත්‍යන්තර අංශයේදී එංගලන්තයේ ෆිල් සෝල්ට් වසරේ පිතිකරුවා ලෙසත්, ඉන්දියාවේ කුල්දීප් යාදව් වසරේ පන්දු යවන්නා ලෙසත් සම්මාන ලැබූහ. වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස ඕස්ට්‍රේලියාවේ බියු වෙබ්ස්ටර් තේරී පත් වූ අතර, ඉන්දියාවේ එන්. ශ්‍රී චරණි වසරේ නැගී එන ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය. මීට අමතරව ඇසෝසියේට් (Associate) අංශයේ පිතිකරණ සම්මානය නෙදර්ලන්තයේ මැක්ස් ඕඩවුඩ් හටත්, පන්දු යැවීමේ සම්මානය ඉතාලියේ හැරී මැනෙන්ටි හටත් හිමිවිය. ඉයන් බිෂොප්, සේන් බොන්ඩ්, ඩේල් ස්ටේන් සහ ෆර්වීස් මහරුෆ් වැනි ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම ජයග්‍රාහකයින් තෝරා පත් කර ගනු ලැබීය.














