එංගලන්තයේ එසෙක්ස් (Essex) ප්‍රාන්තයේ ඩන්මෝ (Dunmow) ප්‍රදේශයේදී සිදුවූ දරුණු සුනඛ ප්‍රහාරයකින් 19 හැවිරිදි තරුණියක මියගොස් ඇති අතර, ඇය ජේමි-ලී බිස්කෝ (Jamie-Lea Biscoe) නමැති තරුණියක බව ප්‍රදේශවාසීන් විසින් හඳුනාගෙන තිබේ. මෙම බිහිසුණු සිදුවීම ඊයේ රාත්‍රී 10.45 ට පමණ ලීඩන් රෝඩින් (Leaden Roding) ගම්මානයේ පිහිටි නිවසක් තුළ සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධිය වූ ස්ථානයට හදිසි සහන සේවා කණ්ඩායම් වහාම ළඟා වූ අතර, එහිදී බරපතල තුවාල ලබා සිටි තරුණිය බේරා ගැනීමට පිරිස් දැඩි උත්සාහයක නිරත විය. එහෙත් ඇය ලබා සිටි තුවාල ඉතා දරුණු වීම හේතුවෙන් සිද්ධිය වූ ස්ථානයේදීම ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. එසෙක්ස් පොලිසිය සඳහන් කරන්නේ අදාළ සුනඛයා තහනම් කරන ලද වර්ගයකට (Banned breed) අයත් නොවන බවයි. කෙසේ වෙතත් එම සුනඛයා කිනම් වර්ගයකට අයත් දැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුදායක ලෙස පාලනයෙන් තොර වූ සුනඛයෙකු භාරව සිටීම සහ ඒ හරහා මරණයක් සිදු වීමට සැලැස්වීම යන චෝදනා යටතේ ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතියි. විශේෂඥ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සුනඛයාව එම ස්ථානයෙන් ඉවත් කර ආරක්ෂිතව රැගෙන ගොස් ඇති අතර පොලිස් පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














