යුරෝපා සංගමයේ අභ්‍යන්තර රහස්‍ය සාකච්ඡාවල තොරතුරු හංගේරියානු විදේශ අමාත්‍ය පීටර් සිජ්ජාර්ටෝ විසින් නිතිපතා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් වෙත ලබා දෙන බවට එල්ල වී ඇති බරපතල චෝදනා සම්බන්ධයෙන් වහාම කරුණු පැහැදිලි කරන ලෙස යුරෝපා කොමිසම හංගේරියාවට දන්වා තිබේ. වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් අනාවරණය කරන ලද මෙම වාර්තා මගින් පෙන්වා දෙන්නේ බ්‍රසල්ස්හි පැවැත්වෙන සංවේදී රැස්වීම් අතරතුර පවා හංගේරියානු අමාත්‍යවරයා රුසියාව සමඟ සබඳතා පවත්වා ඇති බවයි.
යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතර පවතින රහස්‍යභාවය සහ සහයෝගීතාවය මෙමගින් දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බව යුරෝපා කොමිසම පවසන අතර පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටුස්ක් ඇතුළු නායකයින් මෙය හංගේරියාව විසින් සිදුකළ පාවාදීමක් ලෙස හඳුන්වා දී ඇත. හංගේරියානු රජය මෙම චෝදනා අසත්‍ය පුවත් ලෙස ප්‍රතික්ෂේප කළද 2022 රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට සිජ්ජාර්ටෝ 16 වතාවක් මොස්කව් වෙත ගොස් ඇති අතර අවසන් වරට මාර්තු 4 වනදා පුටින් හමුවී තිබේ. හංගේරියාවේ ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ නායක පීටර් මගියාර් පවසන්නේ තමන් බලයට පත්වුවහොත් මෙම රහසිගත කුමන්ත්‍රණය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බවයි. යුක්රේනය සඳහා යුරෝපා සංගමය ලබා දීමට සැලසුම් කළ යුරෝ බිලියන 90ක ණය පැකේජය සඳහා හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් සිය නිෂේධ බලය භාවිතා කිරීම නිසා යුරෝපා රටවල් සමඟ ඇති ගැටුම තවදුරටත් උග්‍ර වී ඇති අතර යුරෝපා සංගමයේ සංවේදී ලේඛන හංගේරියාව වෙත ලබා දීම සීමා කරන්නේද යන්න පිළිබඳව මේ වන විට යුරෝපා කවුන්සිලය සලකා බලමින් සිටී.














