හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් සහ ගෑස් සැපයුම් අඩාල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින්, බලශක්ති පරිභෝජනය සීමා කිරීමට පියවර ගන්නා ලෙස යුරෝපා කොමසාරිස් ඩෑන් ජෝර්ගන්සන් (Dan Jørgensen) යුරෝපා සංගමයේ සාමාජික රටවලින් ඉල්ලා තිබේ. ඉරානය සමඟ පවතින ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ දිනකට තෙල් බැරල් මිලියන 11ක සහ ස්වාභාවික ද්‍රව වායූ (LNG) කියුබික් මීටර් මිලියන 300ක හිඟයක් ඇතිවීමේ අවදානම පිළිබඳව සාකච්ඡා කිරීමට අද (31) යුරෝපා බලශක්ති අමාත්‍යවරුන්ගේ හදිසි රැස්වීමක් ද කැඳවා ඇත.
විශේෂයෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේදී තෙල් සහ ගෑස් භාවිතය අවම කිරීමටත්, විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කිරීමටත් සාමාජික රටවලට උපදෙස් දී ඇති බව ‘Euronews’ පුවත් සේවය වාර්තා කරයි. සෞදි අරාබිය සහ කුවේට් රාජ්‍යයෙන් ආනයනය කරනු ලබන ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන (Jet fuel) මත යුරෝපය දැඩි ලෙස යැපෙන බැවින්, එම ඉන්ධන වර්ගවල මිල ඉහළ යාම පාලනය කිරීමට සහ හිඟයකින් තොරව ලබා ගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බව කොමසාරිස්වරයා පෙන්වා දී තිබේ. G7 රටවල බලශක්ති සහ මුදල් අමාත්‍යවරුන් ද මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, වෙළඳපොළ ස්ථාවරත්වය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.














