යුරෝපීය සංගමයේ මීතේන් විමෝචන ප්‍රමිතීන් (Methane emission standards) ලිහිල් කිරීම සඳහා ඇමරිකානු ගෑස් කර්මාන්ත ශාලා සමඟ පැවැත්වූ රහසිගත සාකච්ඡාවලදී යුරෝපීය කොමිසම සිය විනිවිදභාවය පිළිබඳ රීති උල්ලංඝනය කර ඇති බව අනාවරණය වී තිබේ. 2025 වසරේදී අවම වශයෙන් මෙවැනි ප්‍රධාන සාකච්ඡා වට දෙකක් නිල වශයෙන් ලියාපදිංචි නොකර පුද්ගලිකව පවත්වා ඇති බව යුරෝනිවුස් (Euronews) පුවත් සේවය වාර්තා කරයි.
යුරෝපීය සංගමය විසින් 2024 වසරේදී හඳුන්වා දුන් මීතේන් නියාමනය (EUMR) මගින් පොසිල ඉන්ධන සමාගම්වලට සිය මෙහෙයුම්වලදී සිදුවන මීතේන් කාන්දුවීම් වාර්තා කිරීම අනිවාර්ය කර ඇත. කෙසේ වෙතත්, රුසියානු ගෑස් වෙනුවට ඇමරිකානු ද්‍රව ස්වභාවික ගෑස් (LNG) මත යුරෝපය වැඩිපුර යැපීමට පටන් ගැනීමත් සමඟ, මෙම දැඩි නීති ලිහිල් කරන ලෙස ඇමරිකානු සමාගම්වලින් දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මීතේන් යනු කාබන් ඩයොක්සයිඩ් මෙන් 80 ගුණයක ප්‍රබල බලපෑමක් හරිතාගාර ආචරණයට එල්ල කරන වායුවක් වුවද, බලශක්ති සුරක්ෂිතතාවය සහ ආර්ථික තරඟකාරිත්වය යන කරුණු මත මෙම නීති සංශෝධනය කිරීමට යුරෝපීය කොමිසම එකඟ වී ඇති බව රහසිගත ලේඛන මගින් හෙළි වේ.
එක්සොන් මොබිල් (ExxonMobil) සහ වෙන්චර් ග්ලෝබල් (Venture Global) වැනි ඇමරිකානු බලශක්ති දැවැන්තයින් සහ යුරෝපීය කොමිසමේ ඉහළ නිලධාරීන් අතර 2025 මාර්තු මාසයේදී පැවැති සාකච්ඡා යුරෝපා සංගමයේ විනිවිදභාවය පිළිබඳ රෙජිස්ටරයට ඇතුළත් කර නොමැති වීම බරපතල ගැටලුවක් බව පරිසරවේදීහු පෙන්වා දෙති. ඉරාන – ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බලශක්ති සැපයුමට තර්ජන එල්ල වී ඇති පසුබිමක, 2030 වන විට යුරෝපයේ ගෑස් අවශ්‍යතාවයෙන් 40%ක් පමණ සැපයීමට ඇමරිකාව සූදානම් වේ. මෙය යුරෝපය එක් සැපයුම්කරුවෙකු මත පමණක් යැපීමේ අවදානමක් මෙන්ම දේශගුණික විපර්යාස අවම කිරීමේ ඉලක්කවලට එල්ල වන බාධාවක් ලෙස ද විචාරකයෝ හඳුන්වති.














