යුරෝපා සංගමය තුළ පවතින බලශක්ති අර්බුදය හමුවේ පාරිභෝගිකයන්ට සහ කර්මාන්ත ක්ෂේත්‍රයට සහනයක් සැලසීම සඳහා විදුලිය මත පනවා ඇති බදු අඩු කළ යුතු බවට යුරෝපා කොමිසම යෝජනා කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, යුරෝපා රටවල් රැසක දැනට විදුලිය සඳහා පනවා ඇති බදු අනුපාතයන් ගෑස් සඳහා පනවා ඇති බදු මෙන් කිහිප ගුණයකින් වැඩි මට්ටමක පවතී. ඇතැම් අවස්ථාවලදී මෙය 15 ගුණයක තරම් ඉහළ අගයක් ගන්නා බවත්, පොසිල ඉන්ධනවලට වඩා අඩු බදු අනුපාතයක් විදුලිය සඳහා හඳුන්වා දීම අත්‍යවශ්‍ය බවත් යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් අවධාරණය කර ඇත.
මෙම බදු සහනවලට අමතරව, කර්මාන්ත ක්ෂේත්‍රය පොසිල ඉන්ධන භාවිතයෙන් බැහැර වී හරිත බලශක්තිය වෙත යොමු කිරීම සඳහා විශේෂ මූල්‍ය ආධාර වැඩපිළිවෙළක් ද ඇය විසින් යුරෝපා නායකයන් වෙත යෝජනා කර තිබේ. බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවන මෙම පරිවර්තනය සඳහා අවශ්‍ය ආයෝජන දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයත් සමඟ යුරෝපයේ ගෑස් මිල පෙර පැවති මට්ටමට වඩා දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව බීබීසී පුවත් සේවය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ යුරෝපා වැසියන්ගේ ජීවන වියදම ඉහළ යාම පාලනය කිරීමටත්, කර්මාන්තශාලා බිඳ වැටීම වැළැක්වීමටත් වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති බදු ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමේ අවශ්‍යතාවය ලෝක දේශපාලන කරළිය තුළ දැඩි අවධානයට ලක්ව ඇත. මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එය යුරෝපා කලාපයේ ආර්ථික ස්ථාවරත්වයට මෙන්ම පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රචලිත කිරීමට ද සුවිශේෂී පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














