යුරෝපා සංගමය (EU) මේ වන විට මුහුණ දී සිටින දරුණු නිවාස හිඟය පියවා ගැනීම සඳහා කර්මාන්තශාලා තුළ කොටස් වශයෙන් නිපදවා පසුව සවිකරනු ලබන ‘මොඩියුලර් නිවාස’ ක්‍රමය ප්‍රබල විකල්පයක් ලෙස කරළියට පැමිණ තිබේ. වාර්තාවලට අනුව යුරෝපා සංගමය තුළ නිවාස ඒකක මිලියන 10ක පමණ හිඟයක් පවතින අතර, සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්රයට එම අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි වී ඇත්තේ ශ්‍රම හිඟය සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙනි.
මොඩියුලර් ක්රමයේ ඇති විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට වඩා 50% සිට 90% දක්වා වේගයෙන් ඉදිකිරීම් අවසන් කිරීමට හැකි වීමයි. ජර්මනිය වසරකට නව නිවාස 400,000ක් අපේක්ෂා කළද දැනට එම ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වී ඇති අතර, නෙදර්ලන්තය 2031 වන විට නිවාස මිලියනයක් ඉදිකිරීමේ අභියෝගයකට මුහුණ දී සිටියි. ප්‍රංශයේ ද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රජයේ නිවාස ලබා ගැනීමේ පොරොත්තු ලේඛනවල රැඳී සිටිති. ස්වීඩනය දැනටමත් සිය නව නිවාසවලින් 45%ක් පමණ මෙම ක්‍රමයට ඉදිකරමින් ක්ෂේත්රයේ පෙරමුණ ගෙන සිටියි.
මෙම ක්‍රමය මගින් පරිසරයට සිදුවන හානිය (Carbon emissions) 45%කින් පමණ අවම කර ගත හැකි අතර ඉදිකිරීම් අපතේ යාම ද අවම වේ. කෙසේ වෙතත්, ප්‍රවාහන අපහසුතා සහ සියලුම රටවලට පොදු වූ නීති රීති පද්ධතියක් නොමැති වීම මෙම කර්මාන්තයේ වර්ධනයට බාධාවක් වී තිබේ. යුරෝපා කොමිසම විසින් 2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති නව සැලසුම් හරහා මෙම බාධක ඉවත් කර මොඩියුලර් නිවාස ඉදිකිරීම් වේගවත් කිරීමට පියවර ගනිමින් සිටියි.














