ඇමරිකානු නිෂ්පාදන සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම ඇතුළත් යුරෝපා සංගම්-ඇමරිකානු (EU-US) වෙළඳ ගිවිසුම බලාත්මක කිරීම සඳහා වන තීරණාත්මක පියවරක් අද (මාර්තු 19) යුරෝපීය පාර්ලිමේන්තුවේ වෙළඳ කමිටුව විසින් ගනු ලැබීය. ඒ අනුව බහුතර මනාපයෙන් ඇමරිකානු කාර්මික භාණ්ඩ සඳහා වන යුරෝපා සංගම් බදු ශුන්‍ය මට්ටමකට (Zero tariffs) ගෙන ඒමට අදාළ නීති සම්පාදනය කිරීමට එකඟතාව පළ වී තිබේ.
2025 ජූලි මාසයේදී උර්සුලා වොන් ඩර් ලේයන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇති වූ මෙම ‘ටර්න්බෙරි’ (Turnberry) ගිවිසුම ක්‍රියාත්මක කිරීම මාස හයකට අධික කාලයක් ප්‍රමාද වූයේ ට්‍රම්ප් පරිපාලනය විසින් පනවනු ලැබූ නව බදු සහ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් එල්ල කළ තර්ජන හේතුවෙනි. මෙම ගිවිසුමට අනුව ඇමරිකාව විසින් යුරෝපා සංගම් භාණ්ඩ මත 15%ක බද්දක් පවත්වාගෙන යන අතර යුරෝපා සංගමය සිය බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් ඇමරිකාව තුළ ආයෝජන වැඩිකිරීමටත් එකඟ වී තිබේ. මෙය එක් පාර්ශවයකට පමණක් වාසිදායක අසමතුලිත ගිවිසුමක් බවට විචාරකයෝ පෙන්වා දෙති.
යුරෝපීය මන්ත්‍රීවරුන් විසින් මෙම ගිවිසුමට නව කොන්දේසි දෙකක් ඇතුළත් කර ඇත. එනම් මාස 18කින් පසු ගිවිසුම අලුත් නොකළහොත් නැවත බදු පැනවීමේ ‘Sunset’ වගන්තිය සහ ඇමරිකාව සිය පොරොන්දු ඉටු කරන්නේ නම් පමණක් බදු සහන ලබා දීමේ ‘Sunrise’ වගන්තියයි. ඇමරිකානු තානාපති ඇන්ඩෲ පස්ඩර් (Andrew Puzder) ප්‍රකාශ කර ඇත්තේ දෙරටේම ආර්ථික සහ ආරක්ෂක සුරක්ෂිතතාව වෙනුවෙන් මෙම ගිවිසුම කඩිනමින් අවසන් කරන ලෙස යුරෝපා සංගමයෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටින බවයි. ඉරාන යුද්ධය හමුවේ ගෝලීය වෙළඳාම අඩාල වී ඇති පසුබිමක මෙම ගිවිසුම යුරෝපා-ඇමරිකානු ආර්ථික සබඳතාවලට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.
















