මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් තෙල් සහ ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ යුරෝපීය මහ බැංකුව (ECB) අද (මාර්තු 19) ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොලී අනුපාත තීරණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළවල් දැඩි අවධානයකින් පසුවේ. ඉන්ධන මිල ඉහළ යාම නිසා නැවතත් උද්ධමනය වර්ධනය වීමේ අවදානමක් මතුව ඇති බැවින් අද දිනයේ යුරෝපීය කොටස් වෙළඳපොළවල් පහත වැටීමක් වාර්තා කර ඇත.
ලන්ඩනයේ FTSE 100 සහ පැරිසියේ CAC 40 දර්ශකයන් 1.3% කින් ද ජර්මනියේ DAX දර්ශකය 1.5% කින් ද පහත වැටී ඇත. ආසියානු වෙළඳපොළේ ද මීට සමාන පසුබෑමක් දක්නට ලැබුණු අතර ජපානයේ Nikkei 225 දර්ශකය 3.4% කින් පහත වැටුණි. යුරෝපීය ස්වභාවික ගෑස් මිල 25% කින් පමණ ඉහළ ගොස් මෙගාවොට් පැයකට යුරෝ 68 සීමාව ඉක්මවා ගොස් ඇති අතර මෙය වසර තුනකට පසු වාර්තා වූ ඉහළම අගයයි. බ්‍රෙන්ට් බොරතෙල් මිල ද ඩොලර් 114 සීමාව පසුකර තිබේ.
යුරෝපීය මහ බැංකුව සිය තැන්පතු පොලී අනුපාතය 2% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එංගලන්ත මහ බැංකුව (Bank of England) ද සිය පොලී අනුපාතය 3.75% මට්ටමේ පවත්වා ගැනීමට ඉඩ ඇත. පෙබරවාරි මාසයේදී යුරෝ කලාපයේ උද්ධමනය 1.9% ක් ලෙස පැවතුණද වර්තමාන බලශක්ති අර්බුදය හමුවේ එය නැවතත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. කටාර්හි ‘Ras Laffan’ ගෑස් පර්යන්තයට එල්ල වූ ප්‍රහාර සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින තර්ජනකාරී ස්වභාවය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.














