මැදපෙරදිග පවතින අමෙරිකා-ඉරාන යුද වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතින පසුබිමක, යුරෝපීය රටවල් සිය බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් න්‍යෂ්ටික බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. යුරෝපා සංගමයේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 12% ක් න්‍යෂ්ටික බලශක්තියෙන් සපුරා ගන්නා අතර 2024 වසරේදී එහි නිෂ්පාදනය 4.8% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව අද (2026 මාර්තු 25) නිකුත් වූ දත්ත වාර්තා පෙන්වා දෙයි. යුරෝපා සංගමයේ රටවල් 12ක් දැනට න්‍යෂ්ටික බලශක්තිය නිෂ්පාදනය කරන අතර ඒ අතරින් ප්‍රංශය සිය සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 40.3% ක් න්‍යෂ්ටික ප්‍රභවයන්ගෙන් ලබා ගනිමින් යුරෝපයේ පෙරමුණ ගෙන සිටී. ස්ලෝවැකියාව, ස්වීඩනය සහ බල්ගේරියාව අනෙකුත් ප්‍රධාන නිෂ්පාදකයින් වන අතර විශේෂයෙන්ම ප්‍රංශයේ විදුලි උත්පාදනයෙන් 69% ක්ම සිදුවන්නේ න්‍යෂ්ටික බලාගාර මගිනි.
යුරෝපයේ අනෙකුත් රටවල් න්‍යෂ්ටික බලශක්තිය ප්‍රවර්ධනය කළද ජර්මනිය 2024 වසර වන විට සිය න්‍යෂ්ටික බලශක්ති නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කර ඇත. යුරෝපා සංගමයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය ලෙස තවමත් පවතින්නේ බොරතෙල් සහ ඛනිජ තෙල් වන අතර ස්වභාවික වායුව සහ පුනර්ජනනීය බලශක්තිය ඊළඟ ස්ථාන ගනී. යුරෝපා සංගමය සිය බලශක්ති අවශ්‍යතාවයෙන් 57% ක්ම පිටතින් ආනයනය කරන බැවින් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන සහ විදුලි මිල ඉහළ යාම යුරෝපීය වැසියන්ට දැඩි ලෙස බලපානු ඇතැයි විචාරකයෝ පවසති. මීට අමතරව බ්‍රිතාන්‍යය සහ ස්විට්සර්ලන්තය වැනි යුරෝපා සංගමයට අයත් නොවන රටවල් ද සිය විදුලි අවශ්‍යතාව සඳහා සැලකිය යුතු මට්ටමකින් න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරයි.














