පසුගිය වසරේ ස්පාඤ්ඤය සහ පෘතුගාලය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කළ මහා පරිමාණ විදුලි බිඳවැටීමට (Blackout) හේතුව තනි කරුණක් නොව බලපෑම් රැසක එකතුවක් හෙවත් ‘පරිපූර්ණ කුණාටුවක්’ (Perfect storm) බව ඒ පිළිබඳව විමර්ශනය කළ යුරෝපීය විශේෂඥ මණ්ඩලය අද (මාර්තු 20) සිය අවසන් වාර්තාව මඟින් ප්‍රකාශ කළේය. යුරෝපීය විදුලි පද්ධති ක්‍රියාකරුවන්ගේ සංගමය (ENTSO-E) විසින් නිකුත් කරන ලද මෙම වාර්තාවට අනුව, පද්ධතිය තුළ හටගත් අධි වෝල්ටීයතා (Overvoltage) පාලනය කිරීමට අපොහොසත් වීම මෙම බිඳවැටීමට මූලික හේතුව වී තිබේ. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති පද්ධතිවල පවතින තාක්ෂණික දෝෂ සහ හදිසි වෝල්ටීයතා වෙනස්වීම්වලට ඔරොත්තු දීමට ඒවාට ඇති නොහැකියාව මෙහිදී දැඩි විවේචනයට ලක්ව ඇත.
2025 අප්‍රේල් 28 වනදා සිදුවූ මෙම දැවැන්ත විදුලි බිඳවැටීම වසර 20ක කාලයක් තුළ යුරෝපීය විදුලි පද්ධතිය මුහුණ දුන් දරුණුතම අර්බුදය ලෙස සැලකේ. පැය 10කට ආසන්න කාලයක් ස්පාඤ්ඤය සහ පෘතුගාලය අඳුරේ ගිල්වීමට මෙම සිදුවීම සමත් වූ අතර, දුම්රිය ගමන් වාර නතර වීම, අන්තර්ජාල සහ දුරකථන සබඳතා බිඳවැටීම සහ ව්‍යාපාරික ස්ථාන වැසී යාම නිසා දැඩි ආර්ථික හානියක් සිදු විය. ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයට ද මෙහි බලපෑම එල්ල වූ බව වාර්තා වේ. මෙම සිදුවීමත් සමඟ ස්පාඤ්ඤය පුනර්ජනනීය බලශක්තිය මත පමණක් යැපීම සහ න්‍යෂ්ටික බලාගාර වසා දැමීමට ගෙන ඇති තීරණය පිළිබඳව එරට තුළ විශාල දේශපාලන කතාබහක් ද නිර්මාණය වී තිබේ.
විශේෂඥ වාර්තාව පෙන්වා දෙන්නේ විදුලි පද්ධති ක්‍රියාකරුවන් විසින් තත්කාලීන නිරීක්ෂණ (Real-time monitoring) නිසි ලෙස සිදු නොකිරීම නිසා වෝල්ටීයතා මට්ටම් අවදානම් සීමාවට පැමිණෙන තෙක් හඳුනා ගැනීමට නොහැකි වූ බවයි. මෙම දෝෂ නිවැරදි කර අනාගතයේදී මෙවැනි බිඳවැටීම් වළක්වා ගැනීමට අවශ්‍ය නිර්දේශ රැසක් ද මෙම වාර්තාව මඟින් ඉදිරිපත් කර ඇත. යුරෝපීය බලශක්ති ක්ෂේත්රයේ සුරක්ෂිතතාවය පිළිබඳව ලොව පුරා අවධානය යොමු වූ මෙම සිදුවීම, නූතන බලශක්ති පද්ධතිවල පවතින දුර්වලතා මනාව පැහැදිලි කරන්නකි.














