ඉරානයට එරෙහිව දැනට පවතින යුදමය වාතාවරණය දිගුකාලීනව පැවතුනහොත්, ඉන් යුරෝ කලාපයේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව යුරෝපීය මහ බැංකුවේ (ECB) ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පිලිප් ලේන් මහතා ප්‍රකාශ කර තිබේ. මැදපෙරදිග කලාපයෙන් ලැබෙන තෙල් හා ස්වභාවික වායු සැපයුම අඛණ්ඩව අඩාල වීම හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම සහ නිෂ්පාදන ධාරිතාව පහත වැටීම මෙහි ප්‍රධාන ප්‍රතිවිපාක වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
මැදපෙරදිග යනු ලෝකයේ ප්‍රධානතම බලශක්ති සැපයුම් කලාපය වන බැවින්, එහි පවතින අස්ථාවරත්වය සෘජුවම ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමට බලපායි. මෙය යුරෝපයේ භාණ්ඩ හා සේවා මිල ඉහළ නංවමින් උද්ධමනය පාලනය කළ නොහැකි මට්ටමකට ගෙන යා හැකි බව පිලිප් ලේන් මහතා පවසයි. මෙම බලපෑමේ බරපතලකම තීරණය වන්නේ “ගැටුමේ ව්‍යාප්තිය සහ එය පවතින කාලසීමාව” මත බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
බලශක්ති පිරිවැය ඉහළ යාම හේතුවෙන් යුරෝපයේ කර්මාන්තශාලාවල නිෂ්පාදන පිරිවැය ඉහළ යන අතර, එය සමස්ත නිෂ්පාදන ධාරිතාව (Output) තියුණු ලෙස පහත වැටීමට හේතු වේ. 2023 වසරේදී යුරෝපීය මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණයක් උපුටා දක්වමින් ඔහු කියා සිටියේ, බලශක්ති සැපයුම අඩාල වීම කලාපීය ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ කිරීමට සමත් බවයි.
ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන වෙළඳ මාර්ග අවහිර වුවහොත්, එය යුරෝපයට පමණක් නොව මුළු ලෝකයටම බලපාන ආර්ථික අවපාතයක් කරා ගමන් කළ හැකි බව ආර්ථික විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. මෙය ශ්‍රී ලංකාව වැනි ආනයන මත පදනම් වූ ආර්ථිකයන් සහිත රටවලට ද අහිතකර ලෙස බලපානු ඇත.














