ඉංග්‍රීසි ඇළ මාර්ගය (English Channel) හරහා කුඩා බෝට්ටු මගින් සිදුකරන නීති විරෝධී මිනිස් ජාවාරම් ජාලයකට එරෙහිව ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මෙහෙයුමකදී සිරියානු ජාතිකයන් සිව්දෙනෙකු බදාදා (2026 මාර්තු 25) පෙරවරුවේ ජර්මනියේදී අත්අඩංගුවට ගෙන තිබේ. බටහිර ජර්මනියේ උතුරු රයින්-වෙස්ට්ෆේලියා (North Rhine-Westphalia) ප්‍රදේශයේ සිදුකළ මෙම වැටලීම්වලදී ජාවාරම් සඳහා යොදාගන්නා බෝට්ටු, එන්ජින්, ඉන්ධන ටැංකි සහ ජීවිතාරක්ෂක කබා රැසක් ද අත්අඩංගුවට ගෙන ඇත.
බ්‍රිතාන්‍යයේ ජාතික අපරාධ ඒජන්සිය (NCA) සහ බෙල්ජියම් ෆෙඩරල් පොලිසිය එක්ව ආරම්භ කළ මෙම පරීක්ෂණය සඳහා ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, යුරෝපෝල් (Europol) සහ යුරෝජස්ට් (Eurojust) යන ආයතනවල සහාය ලැබී තිබේ. 2025 මාර්තු මාසයේදී ඉතාලිය වෙත යැවූ සැකකටයුතු ටයර් ටියුබ් තොගයක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම ආරම්භ කර ඇත. ජාවාරම්කරුවන් විසින් ජීවිතාරක්ෂක කබා වෙනුවට සංක්‍රමණිකයන්ට ලබා දෙන මෙම ටියුබ්, පසුව ජර්මනියේ රහසිගත ස්ථානවලදී බෝට්ටු සහ එන්ජින් සමඟ එක්කර “ගෝ කිට්ස්” (Go kits) ලෙස සකස් කර ඇති අතර, කළු කඩයේ එවැනි එක් කට්ටලයක වටිනාකම යුරෝ 10,000 (පවුම් 8,647) ඉක්මවයි.
මෙම මෙහෙයුමේදී සමස්තයක් ලෙස පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ජර්මනියේ සිට ප්‍රංශ වෙරළ තීරය දක්වා මෙම බෝට්ටු කට්ටල ප්‍රවාහනය කර ඇති බව යුරෝපෝල් ආයතනය තහවුරු කළේය. 2025 වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ බෙල්ජියම, ප්‍රංශය සහ නෙදර්ලන්තය යන රටවලදී මෙවැනි බෝට්ටු කට්ටල ප්‍රවාහනය කළ වාහන රැසක් ද බලධාරීන් විසින් වටලනු ලැබීය.












