යුරෝපා සංගමය තුළ දිනෙන් දින ඉහළ යන වෙළඳ ගනුදෙනු සහ ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ තම රේගු පද්ධතිය නවීකරණය කිරීම සඳහා වූ සුවිශේෂී ප්‍රතිසංස්කරණ මාලාවකට අනුමැතිය හිමිව තිබේ. මෙය 1968 වසරේදී යුරෝපා රේගු සංගමය පිහිටුවීමෙන් පසුව සිදුකළ දැවැන්තම සහ වැදගත්ම ප්‍රතිසංස්කරණය ලෙස සැලකේ. දකුණු ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව සමඟ ඇති කරගත් නව වෙළඳ ගිවිසුම් මෙන්ම ඇමරිකාව සමඟ පවතින වෙළඳ අවිනිශ්චිතතාවන් හමුවේ මෙම පියවර ගෙන ඇත.
බ්‍රහස්පතින්දා සවස ඇති කරගත් මෙම එකඟතාවය හරහා රේගු බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත්, ප්‍රමිතියෙන් තොර හෝ අනාරක්ෂිත භාණ්ඩ පාලනය කිරීමටත් නවීන මෙවලම් රැසක් හඳුන්වා දී තිබේ. සයිප්‍රස් මුදල් අමාත්‍ය මාකිස් කෙරව්නොස් (Makis Keravnos) සඳහන් කළේ මෙම නවීන “මෙවලම් කට්ටලය” මගින් වෙළඳ කටයුතු පහසු කරන අතරම, නීත්‍යානුකූලව බදු අයකර ගැනීම සරල සහ වඩාත් විනිවිදභාවයකින් සිදුකිරීමට මග පාදන බවයි.
පසුගිය වසර කිහිපය තුළ යුරෝපා සංගමය වෙත ගලා එන භාණ්ඩ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, 2024 වසරේදී පමණක් යුරෝ 150ට අඩු වටිනාකමකින් යුත් භාණ්ඩ බිලියන 4.6ක් ආනයනය කර තිබේ. මෙය දිනකට පාර්සල් මිලියන 12ක සාමාන්‍යයකි. 2022 වසරේදී මෙම අගය බිලියන 1.4ක්ව පැවති අතර, මෙලෙස භාණ්ඩ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් රේගු කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව තිබුණි.














