යුරෝපා සංගමයේ මූල්‍ය ස්වෛරීභාවය සහ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා විදේශීය ස්ටේබල්කොයින් ක්‍රියාකරුවන්ගේ ක්‍රියාකාරකම් අවහිර කිරීමට හැකි වන පරිදි දැඩි නියාමන රාමුවක් සකස් කරන ලෙස ජර්මනිය සහ ඉතාලිය යෝජනා කර තිබේ. මෙම පියවර හරහා යුරෝපා සංගමයේ ප්‍රමිතීන්ට අනුකූල නොවන ඇමෙරිකානු ඇතුළු ප්‍රමුඛ පෙළේ ගුප්තකේතන මුදල් (Crypto) සමාගම්වලට ලොව විශාලතම මූල්‍ය වෙළඳපොළක් වන යුරෝපා වෙළඳපොළ අහිමි වීමේ අවදානමක් මතුව ඇත.
පසුගිය මාර්තු 27 වනදා ඉදිරිපත් කරන ලද මෙම ඒකාබද්ධ සාකච්ඡා පත්‍රිකාවට අනුව, බහු-නිකුත්කරුවන් සහිත (Multi-issuer) ස්ටේබල්කොයින් වර්ග මෙහි ප්‍රධාන ඉලක්කය වී තිබේ. විවිධ රටවල් කිහිපයක එකවර නිකුත් කරන සහ විවිධ සංචිත මගින් පාලනය වන මෙම ඩිජිටල් මුදල් වර්ග හරහා යුරෝපා සංගමයේ මූල්‍ය පද්ධතියට එල්ල විය හැකි බලපෑම අවම කිරීම මෙහි අරමුණයි. යම් විදේශීය ආයතනයක් යුරෝපීය නීතිරීතිවලට අනුකූල නොවන්නේ නම්, ඔවුන්ගේ සේවාවන් වහාම අත්හිටුවීමට (Kill switch) යුරෝපා සංගමයට බලය ලබා දිය යුතු බව ජර්මනිය සහ ඉතාලිය අවධාරණය කරයි.
මෙම යෝජනාව හුදෙක් මූල්‍ය නියාමනයක් පමණක් නොව, භූ-දේශපාලනික වශයෙන් යුරෝපයේ බලය තහවුරු කර ගැනීමේ උත්සාහයක් ලෙස ද විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ඇමෙරිකානු ඩොලරය මත පදනම් වූ ස්ටේබල්කොයින් වර්ග යුරෝපා කලාපය තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ. ඉදිරි සති කිහිපය තුළ යුරෝපා සංගමයේ වෙළඳපොළ ඒකාබද්ධතා සහ අධීක්ෂණ පැකේජය (MISP) යටතේ මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.














