ඉන්දියාවේ ආරාධනයකට අනුව ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගී වී ආපසු යමින් සිටියදී ප්‍රහාරයට ලක්වූ ඉරාන නෞකාවේ සිටි නාවිකයන්ගේ මරණ සම්බන්ධයෙන් කණගාටුව පළ කිරීමේ වගකීමක් ඉන්දීය නාවික හමුදාවට ඇති බව ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු ලේකම් කන්වාල් සිබාල් මහතා පවසයි. මෙම නෞකාව ඉන්දීය ජනාධිපතිවරියට පවා නිල වශයෙන් ආචාර කළ නෞකාවක් බව පෙන්වා දෙන ඒ මහතා, සිය මිත්‍ර පාර්ශවයකට අයත් නාවිකයන් පිරිසක් මෙලෙස ඛේදජනක ලෙස මියයාම සම්බන්ධයෙන් ඉන්දියාව නිහඬව නොසිටිය යුතු බව අවධාරණය කරයි.
තම එක්ස් (X) ගිණුමේ විශේෂ සටහනක් තබමින් සිබාල් මහතා තවදුරටත් අනාවරණය කරන්නේ, මෙම ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව කලින්ම දැනුවත්ව සිටි බවට සැක කළ හැකි බවයි. අදාළ යුද අභ්‍යාසය අවසන් මොහොතේ මඟහැරීමට ඇමරිකාව ගත් තීරණයට මෙම සැලසුම් සහගත ප්‍රහාරය හේතු වන්නට ඇති බවට ද ඔහු මෙහිදී සැක පළ කරයි. ඉන්දියාවේ ආරාධනය පිළිගෙන පැමිණි පිරිසක් මෙවැනි විපතකට මුහුණ දීම ජාත්‍යන්තර නාවික සබඳතාවලට බලපෑමක් විය හැකි බැවින්, ඒ පිළිබඳව ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව හිටපු විදේශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.















