පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් නිවසේ ඇති කරන සුරතල් සතුන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි බව පශු වෛද්‍ය සෝබාත් විජයරත්න මහතා අද (01) විශේෂ අනාවරණයක් කළේය. ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් සතුන් හදිසියේ මිය යාමට පවා ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම කළු පැහැති සුනඛයන් සහ බලලුන් සූර්ය රශ්මියට වැඩිපුර නිරාවරණය වීම මාරාන්තික විය හැකිය. දහවල් 11 සිට සවස 3 දක්වා කාලය තුළ සතුන් එළිමහනේ රැගෙන යාමෙන් වළකින්න. කිසිදු විටක නවතා ඇති රථවාහන තුළ සුරතලුන් තනි කර දමා නොයන්න; මන්ද වාහනය තුළ උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යන බැවිනි.
සතුන් අධික ලෙස හති දමන්නේ නම්, වහාම ඔවුන්ගේ ඇඟ තෙමීමට හෝ අයිස් ලබා දීමට කටයුතු කර පශු වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. රොට්වයලර් (Rottweiler) වැනි බරින් වැඩි සුනඛයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, දහවල් කාලයේදී සුනඛයන්ට මුඛවාඩම් (Muzzles) පැළඳවීමෙන් වළකින්න. සතුන් රැඳී සිටින කූඩුවල වහලය ආවරණය කර සිසිල්ව තබා ගැනීමටත්, නිතර පිරිසිදු පානීය ජලය (හැකිනම් අයිස් කැට දමා) ලබා දීමටත් පියවර ගන්නා ලෙස වෛද්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දෙයි.














