මැදපෙරදිග කලාපය පුරා පැතිර යන යුදමය වාතාවරණය හේතුවෙන් ලබන මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී මෝටර් රථ ධාවන තරඟාවලි අවලංගු කිරීමට තීරණය කර ඇත. මේ පිළිබඳ නිල නිවේදනය සති අන්තය අවසන් වීමට පෙර නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඇමෙරිකාව, ඉශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම් සමනය වන ලකුණක් නොපෙනීම හේතුවෙන් තරඟාවලියට සම්බන්ධ වන කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ. ලබන අප්‍රේල් 12 වැනිදා බහරේන් තරඟයත්, ඉන් පසු සති අන්තයේ ජෙඩා (Jeddah) හිදී සෞදි තරඟයත් පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
මෙම තරඟාවලි ද්විත්වය අවලංගු කිරීමත් සමඟ ෆෝමියුලා වන් (F1) සංවිධායකයන්ට පවුම් මිලියන 100කට අධික මූල්‍ය අලාභයකට මුහුණ දීමට සිදුවේ. මීට විකල්ප ලෙස පෘතුගාලය, ඉතාලිය හෝ තුර්කිය වැනි රටවල තරඟ පැවැත්වීමට සලකා බැලුණද, පවතින කෙටි කාලය තුළ එවැනි මහා පරිමාණ තරඟාවලියක් සංවිධානය කිරීම ප්‍රායෝගික නොවන බව බලධාරීන් තීරණය කර ඇත. ඒ අනුව මෙවර තරඟ වාරය ග්‍රෑන්ඩ් ප්‍රී 22ක් දක්වා සීමා වනු ඇති අතර, මාර්තු 29 වැනිදා පැවැත්වෙන ජපන් ග්‍රෑන්ඩ් ප්‍රී තරඟයෙන් පසුව මැයි 3 වැනිදා පැවැත්වෙන මියාමි තරඟය දක්වා සති පහක විවේකයක් ක්‍රීඩකයන්ට හිමිවනු ඇත.














