මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් මෙවර අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ බහරේන් සහ සෞදි අරාබි Grand Prix මෝටර් රථ තරගාවලි අවලංගු කිරීමට Formula 1 බලධාරීන් පියවර ගෙන තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සෞදි අරාබියේ පැවැත්වීමට සැලසුම් කර තිබූ කාන්තා F1 Academy තරගාවලියට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.
සෞදි අරාබියේ අවලංගු වූ තරග වෙනුවෙන් කැනඩාවේ මොන්ට්‍රියල් (Montreal) සහ ඇමෙරිකාවේ ඔස්ටින් (Austin) යන නගරවල පැවැත්වෙන තරගාවලි සඳහා අතිරේක තරග එක් කිරීමට F1 Academy කළමනාකාරිත්වය තීරණය කර තිබේ. ඒ අනුව සාමාන්‍යයෙන් එක් සති අන්තයක පැවැත්වෙන තරග දෙක වෙනුවට, මොන්ට්‍රියල් සහ ඔස්ටින් හීදී තරග තුන බැගින් පැවැත්වෙනු ඇත. මෙමගින් වසරේ සමස්ත තරග සංඛ්‍යාව 14ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.
කාන්තා මෝටර් රථ ධාවන ශූරතාවලියේ කළමනාකාර අධ්‍යක්ෂිකා සුසී වොල්ෆ් (Susie Wolff) ප්‍රකාශ කළේ, ක්‍රීඩිකාවන්ට උපරිම තරග අත්දැකීම් ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවයි. මැයි 22-24 දක්වා කැනඩාවේදීත්, ඔක්තෝබර් 23-25 දක්වා ඇමෙරිකාවේදීත් මෙම තරග පැවැත්වීමට නියමිතය. මැදපෙරදිග අර්බුදය නිසා මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ තරගාවලි කිහිපයක්ම මෙලෙස අවලංගු කිරීමට සිදුවීම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ.















