ශ්‍රී ලංකාවේ සිරස් සුඛෝපභෝගී නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Fairway Properties සමාගම, සිය නවතම ව්‍යාපෘතිය වන ‘Fairway Latitude’ හි නිවාස මිලදී ගන්නන් සඳහා විශේෂ නිවාස ණය පහසුකම් සැලසීම වෙනුවෙන් පෑන් ඒෂියා බැංකුව (Pan Asia Bank) සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබා තිබේ. මෙම හවුල්කාරිත්වය හරහා පාරිභෝගිකයන්ට වඩාත් විනිවිදභාවයකින් යුත් සහ විධිමත් ක්‍රියාවලියක් යටතේ සිය සිහිනය සැබෑ කර ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම ගිවිසුම යටතේ Fairway Latitude ව්‍යාපෘතියේ නිවාස මිලදී ගන්නන්ට පෑන් ඒෂියා බැංකුව හරහා නම්‍යශීලී නිවාස ණය විසඳුම්, තරඟකාරී පොලී අනුපාත සහ පුද්ගලීකරණය කළ බැංකු සේවාවන් ලබා ගත හැකිය. Fairway Holdings හි සභාපති විරාත් ද අල්විස් මහතා ප්‍රකාශ කළේ, මෙම සහයෝගීතාවය හරහා සුඛෝපභෝගී නිවාස හිමිකාරිත්වය පාරිභෝගිකයාට වඩාත් සමීප කරවීමට අපේක්ෂා කරන බවයි.
පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා සඳහන් කළේ, නූතන නිවාස ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන මූල්‍ය විසඳුම් ලබා දෙමින් මෙවැනි ඉහළ මට්ටමේ නේවාසික ව්‍යාපෘති සඳහා සහයෝගය දැක්වීමට බැංකුව කැපවී සිටින බවයි.
දැනටමත් තට්ටු හයක ඉදිකිරීම් අවසන් කර ඇති Fairway Latitude ව්‍යාපෘතිය, Fairway සමාගමේ හත්වන සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වේ. මින් පෙර සාර්ථක නිවාස ව්‍යාපෘති හයකින් නිවාස ඒකක 1,000කට අධික සංඛ්‍යාවක් පාරිභෝගික අයිතියට පත් කර ඇති Fairway Holdings, කොළඹ නගරයේ සුඛෝපභෝගී ජීවන රටාව හැඩගැස්වීමේලා තවදුරටත් පෙරමුණ ගෙන සිටියි.














