කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ඉලක්ක කරගනිමින් විවිධ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
“හඳුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම් පන්නා දැමූ හැටි – සමූහයට ආ සභාපතිටත් හූ සංග්‍රහයක්” යන සිරස්තලය යටතේ ප්‍රචාරය වන වීඩියෝ දර්ශන මඟින් අමාත්‍යවරයාගේ මෙන්ම ඔහුගේ කාර්ය මණ්ඩලයේ ප්‍රතිරූපයට බරපතළ හානියක් සහ අපහාසයක් සිදු කර ඇති බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
අදාළ වීඩියෝ දර්ශනවල පෙනී සිටින හෝ මහජන විරෝධයට ලක්වන කිසිදු පුද්ගලයෙකු අමාත්‍යවරයාගේ නිල සම්බන්ධීකරණ ලේකම්වරුන් වන එම්. ආර්. එම්. ඩබ්ලිව්. ඩයස් මහතා හෝ රසිඳු යසෝද් මාරගල මහතා නොවන බව අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා. මෙවැනි අසත්‍ය පුවත් නිසි කරුණු සොයා බැලීමකින් තොරව ප්‍රචාරය කිරීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත්, එමඟින් මහජනතාව නොමඟ යන බවත් එහි වැඩිදුරටත් සඳහන්.
මෙම අසත්‍ය පුවත් සහ වීඩියෝ දර්ශන අදාළ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම මෙම වැරදි සහගත වාර්තාකරණයට වගකිව යුතු ආයතන සිය වැරදි නිවැරදි කරමින් සත්‍ය තොරතුරු වහාම මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවටද අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.














