බුත්තල – මොණරාගල මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ ඊයේ (15) රාත්‍රියේ හටගත් හදිසි ගින්නකින් එකම පවුලේ පියා, මව සහ කුඩා දියණියක බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබේ. මොවුන් තිදෙනා නිදා සිටියදී කාමරයේ එකවරම ගින්න හටගෙන ඇති අතර, එය වේගයෙන් පැතිර යාම නිසා නිවසේ බඩු භාණ්ඩ රැසක් ද විනාශ වී ඇති බව බුත්තල පොලිසිය පවසයි. තුවාල ලැබූවන් අසල්වැසියන් විසින් වහාම මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී තත්ත්වය බරපතල වූ තුන් හැවිරිදි දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
පිළිස්සුම් තුවාල ලැබූ 26 හැවිරිදි මව මේ වන විට මොනරාගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක සහ ක්ෂේත්‍ර විමර්ශන ආරම්භ කර තිබේ.














