ජර්මනියේ දෙවන පෙළ පාපන්දු ලීගයේ (Bundesliga 2) පසුගිය ඉරිදා පැවැති තරගයක් අතරතුර, වීඩියෝ සහායක විනිසුරු (VAR) පද්ධතියට විරෝධය පළ කරමින් මුහුණු ආවරණය කරගත් ප්‍රේක්ෂකයෙකු ක්‍රීඩාංගණයේ තිබූ VAR තිරයේ විදුලි සබඳතාව විසන්ධි කිරීමේ පුවතක් වාර්තා වේ. ප්‍රවුසන් මුන්ස්ටර් (Preussen Munster) සහ හර්තා බර්ලින් (Hertha Berlin) කණ්ඩායම් අතර පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසානයේදී විනිසුරු ෆීලික්ස් බිකෙල් හට දඬුවම් පහරක් (Penalty) සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට VAR තිරය පරීක්ෂා කිරීමට අවශ්‍ය වූ මොහොතේදී මෙම බාධා කිරීම සිදුව ඇත. විනිසුරුවරයා පරීක්ෂා කිරීමට යන විට එම තිරය ක්‍රියා විරහිත වී තිබූ අතර, මුහුණු ආවරණය කරගත් පුද්ගලයෙකු අනවසරයෙන් ක්‍රීඩා පිටියට ඇතුළු වී එහි වයරය ගලවා දමා ඇති බව පසුව අනාවරණය විය.
මෙම සිදුවීම හේතුවෙන් විනිසුරු බිකෙල් හට තිරය හරහා දර්ශන නැරඹීමට නොහැකි වූ නිසා, අවසන් තීරණය කොලෝන් නුවර සිටි VAR නිලධාරී කැට්‍රින් රෆාල්ස්කි වෙත පැවරීමට සිදුවූ අතර ඇය විසින් එය දඬුවම් පහරක් ලෙස තහවුරු කරන ලදී. ජර්මානු මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ක්‍රියාව සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව පෙනෙන්නට තිබූ අතර, සිද්ධියෙන් සුළු මොහොතකට පසු ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය තුළ “VAR පද්ධතියේ ප්ලග් එක ගලවනු” (Pull the plug on VAR) යනුවෙන් සඳහන් බැනරයක් ද ප්‍රදර්ශනය කර තිබුණි. මෙම සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන ප්‍රවුසන් මුන්ස්ටර් ක්‍රීඩා සමාජය, අදාළ වරදකරුවන් හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන බවත් ඉදිරියේදී මෙවැනි දේ වැළැක්වීමට දැඩි ආරක්ෂක පියවර ගන්නා බවත් අවධාරණය කර සිටියි.














