මධ්‍යම පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම මත, ලෝක ආහාර මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අද (03) අනතුරු ඇඟවීය. පසුගිය මාර්තු මාසයේදී ලෝක ආහාර මිල දර්ශකය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණ තිබේ.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොෙර්රෝ (Maximo Torero) ප්‍රකාශ කළේ, යුද්ධය හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාම ආහාර මිල කෙරෙහි සෘජුවම බලපා ඇති බවයි. විශේෂයෙන්ම පොහොර නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා ගොවීන් වගා කටයුතුවලින් ඉවත් වීමට ඇති ඉඩකඩ ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වීමට හේතු විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, ලෝක වෙළඳපොළේ පවතින ප්‍රමාණවත් ධාන්‍ය තොග හේතුවෙන් දැනට ආහාර මිල ඉහළ යාම යම් මට්ටමකට පාලනය වී ඇති අතර, වත්මන් මිල ගණන් 2022 මාර්තු මාසයේ පැවති උපරිම මට්ටමට වඩා 20% කින් පමණ අඩු මට්ටමක පවතී. එහෙත් යුද්ධය දීර්ඝ කාලීනව පැවතුණහොත් මෙම තත්ත්වය දරුණු විය හැකි බවට විදෙස් වාර්තා පෙන්වා දෙයි.














