මහියංගනය, මැදඔය ප්‍රදේශයේදී අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු විදුලි සැර වැදී මියගොස් ඇති බව මහියංගනය පොලිසිය තහවුරු කරයි. මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ ඊයේ (19) දහවල් කාලයේදීය.
මියගිය පුද්ගලයා මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි ගොවි මහතෙකි. ඔහු සිය වගා කටයුතු සඳහා කුඹුරට ගොස් සිටියදී, වන සතුන්ගෙන් වගා හානි වැළැක්වීම සඳහා කිසියම් අයෙකු විසින් අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම අනවසර විදුලි රැහැන ඇදීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෙකු මහියංගනය පොලිසිය විසින් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වේ.
වන සතුන්ගෙන් සිදුවන වගා හානි පාලනය කිරීම සඳහා විදුලි රැහැන් මෙලෙස අනාරක්ෂිතව භාවිත කිරීම හේතුවෙන් මෑතකදී මිනිස් මරණ මෙන්ම වන අලි මරණ ද බහුලව වාර්තා වෙමින් පවතී. 2024 වසරේ සිට මේ දක්වා මෙවැනි අනවසර විදුලි රැහැන් හේතුවෙන් වන අලි මරණ 50ක් පමණ වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.














