අර්තාපල් ආනයනය කර දේශීය නිෂ්පාදනය අඩාල කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව උඩරට එළවළු හා අර්තාපල් වගාකරුවන්ගේ ගොවි සංවිධානයේ සභාපති තරිඳු රත්නායක මහතා චෝදනා කරයි. වාර්ෂික දේශීය අර්තාපල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 223,000ක් වන අතර, 2024 වසරේ දේශීය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18,000ක් වැනි අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙට්‍රික් ටොන් 205,000කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුව තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව අර්තාපල් කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 220ක් වුවද, සැබෑ වියදම රුපියල් 300ක් පමණ වන බව සභාපතිවරයා පෙන්වා දෙයි. එසේ තිබියදී, ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 120ක් වැනි අඩු මුදලකට වෙළඳපළට මුදාහැරීම හරහා දේශීය ගොවියා අඩපණ කිරීමේ උත්සාහයක් පවතින බවට ඔහු වැඩිදුරටත් චෝදනා කරයි. මේ හේතුවෙන් දේශීය වගාකරුවන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී.













