ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි නවයකට (මිලියන 90ක) අධික පිරිවැයක් දරා ඉදිකළ බෝග ගබඩා එකොළහක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වල් බිහිවී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ බෝග ගබඩා කිරීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ දිස්ත්‍රික්ක හයක මෙම ගබඩා ඉදිකර ඇත. එහෙත් නිසි අවශ්‍යතා හඳුනාගැනීමකින් තොරව මේවා ඉදිකිරීම හේතුවෙන් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පවරා දීමෙන් පසුවත් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොමැති බව විගණන වාර්තාවේ සඳහන් වේ.
මීට අමතරව, අනුරාධපුර මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වැය කර ඉදිකළ ගබඩාවක වැඩකටයුතු ද මේ දක්වා අවසන් කර නොමැති බව හෙළිවී තිබේ. මහජන මුදල් මෙලෙස අපතේ යාම සම්බන්ධයෙන් විගණන අංශ සිය දැඩි අවධානය යොමු කර ඇත.














