ඊයේ (19) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වාර්තා කරයි. මියගිය පිරිස අතර මෙරට සංචාරයක නිරතව සිටි නෙදර්ලන්ත ජාතිකයෙකු ද වන බව සඳහන් වේ.
මහනුවර – පදියතලාව මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී බස් රථයකට ඉස්සර කිරීමට ගිය යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් 46 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙකු මියගොස් තිබේ. තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව පොලිසිය පවසයි.
පදියතලාව, කෙහෙල්උල්ල ප්‍රදේශයේදී පාලනය කරගත නොහැකි වූ ටිපර් රථයක් ඇළකට පෙරළීමෙන් 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලැබූ ඔහු මහඔය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
වෙරළබඩ පොලිස් වසමේ වරාය පරිශ්‍රය තුළ ධාවනය වූ බර අඬු එසවුම් යන්ත්‍රයක (Stacker) යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් රිදීගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. ඔහු යතුරුපැදියේ පසුපැදිකරු ලෙස ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
බණ්ඩාරගම – පානදුර මාර්ගයේ බණ්ඩාරගම නගරයේදී ලොරි රථයක පදිකයෙකු ගැටීමෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














