එකම ලියාපදිංචි අංකය සහ එකම ලියාපදිංචි සහතිකය (පොත) භාවිත කරමින් ටිපර් රථ දෙකක් පුද්ගලයන් දෙදෙනෙකුට අලෙවි කර රුපියල් ලක්ෂ ගණනාවක මුදලක් වංචා කළ පියෙකු සහ පුතෙකු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 68 සහ 48 වියැති මෙම සැකකරුවන් දෙදෙනා වාහන වෙළෙඳාමේ නිරතව සිටිමින් මෙම සංවිධානාත්මක වංචාව සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.
සැකකාර පුත්‍රයා විසින් මුලින්ම හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ටිපර් රථයක් මිලදී ගෙන ඇත්තේ ලීසිං වාරික ගෙවීමේ කොන්දේසිය මත සිය පියාගේ නමටය. ඉන් අනතුරුව එම රථයම ලීසිං වාරික ගෙවීමේ පදනම මත අලුත්ගම පදිංචිකරුවෙකුට අලෙවි කර තිබේ. ගැණුම්කරු විසින් සියලු වාරික ගෙවා අවසන් කර වාහනයේ මුල් පොත ඉල්ලා සිටි අවස්ථාවේදී, සැකකරුවන් පවසා ඇත්තේ එය ගංවතුරට හසුව විනාශ වී ඇති බවයි.
වාහන පොත සම්බන්ධයෙන් ඇති වූ සැකය මත අලුත්ගම පදිංචිකරු හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ලියාපදිංචි අංකයම සහිත තවත් ටිපර් රථයක් දංකොටුව ප්‍රදේශයේ පවතින බවයි. පුදුමයට කරුණ නම්, එම රථය ද මෙම පිය-පුතු දෙපළ විසින්ම දංකොටුව ගැණුම්කරුට අලෙවි කර තිබීමයි.
අලුත්ගම ගැණුම්කරුට “ගංවතුරට හසුව විනාශ වූවා” යැයි පැවසූ වාහනයේ මුල් ලියාපදිංචි සහතිකය දංකොටුව පදිංචිකරු සතුව තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකරුවන් විසින් එකම ලේඛන යොදාගෙන එක් වාහනයක් වෙනුවට වාහන දෙකක් අලෙවි කර ගැණුම්කරුවන් දෙදෙනාම රවටා ඇති බව මෙයින් තහවුරු විය.
මේ වන විට ටිපර් රථ දෙකම පොලිස් භාරයට ගැනීමට කටයුතු කරමින් පවතින අතර, අත්අඩංගුවට ගත් සැකකාර පිය පුතු දෙපළ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














