බුත්තල – මොනරාගල මාර්ගයේ නාමණ්ඩිය ප්‍රදේශයේ නිවසක ඇති වූ හදිසි ගින්නකින් එකම පවුලේ පියා, මව සහ කුඩා දියණිය බරපතළ ලෙස පිලිස්සුම් තුවාල ලබා තිබේ. පසුගිය 15 වැනිදා රාත්‍රියේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව බුත්තල පොලිසිය තහවුරු කරයි.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ 29 හැවිරිදි ජේ. එම්. දිලුක්ෂ මදුසංඛ, 26 හැවිරිදි ඔහුගේ බිරිඳ සුරාජි සකුන්තලා සහ ඔවුන්ගේ තුන් හැවිරිදි දියණිය වන ඕනල්යා ය. තුවාල ලැබූ තිදෙනා ප්‍රථමයෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, මවගේ සහ දියණියගේ තත්ත්වය අතිශය බරපතළ බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
ගින්න හටගත් ආකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර, මෙය හදිසි අනතුරක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රසායනික විශ්ලේෂක වාර්තාවක් ලබා ගැනීමටද පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.















