ඇමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් බිඳදැමීමට ඉරානයට සම්බන්ධ හැකර් කණ්ඩායමක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය අද (27) වාර්තා කරයි. මෙම හැකර්වරුන් විසින් අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික ඡායාරූප සහ ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව (Resume) ලෙස සැලකෙන සංවේදී ලේඛන කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබේ. මෙය අමෙරිකානු ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකු ඉලක්ක කර ගනිමින් සිදුවූ බරපතල සයිබර් ප්‍රහාරයක් ලෙස සැලකේ.
මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත්තේ ‘Handala Hack Team’ නමැති හැකර් කණ්ඩායම වන අතර ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ තම සාර්ථක සයිබර් මෙහෙයුම්වල ඊළඟ ගොදුර බවට පටෙල් පත්ව ඇති බවයි. අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික තොරතුරු මෙලෙස ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ අමෙරිකානු බුද්ධි අංශ සහ සයිබර් ආරක්ෂණ ඒකක මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි. මෙම සිදුවීම හරහා අමෙරිකානු රජයේ ඉහළ නිලධාරීන්ගේ සයිබර් ආරක්ෂාව පිළිබඳව යළිත් ලෝක අවධානය යොමු වී තිබේ.














