පසුගිය මාර්තු 12 වැනිදා මිචිගන්හි විශාලතම යුදෙව් දේවස්ථානයක් වන ‘ටෙම්පල් ඉස්රායෙල්’ (Temple Israel) වෙත එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරය, ඉරානයේ සහය ලබන හිස්බුල්ලා (Hezbollah) සටන්කාමී කණ්ඩායමේ පෙළඹවීම මත සිදු වූවක් බව අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය (FBI) සඳහන් කරයි. ඉන්ධන පිරවූ ට්‍රක් රථයකින් යුදෙව් ප්‍රජාවට උපරිම හානියක් සිදු කිරීම ප්‍රහාරකයාගේ අරමුණ වී තිබුණි.
මෙම ප්‍රහාරය එල්ල කළ 41 හැවිරිදි අයිමන් ගසාලි (Ayman Ghazali) නමැත්තා, ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර වීඩියෝවක් නිකුත් කරමින් තමන්ට හැකි උපරිම පිරිසක් ඝාතනය කිරීමට අවශ්‍ය බව පවසා ඇත. ඔහු සිය ‘F150’ වර්ගයේ ට්‍රක් රථය දේවස්ථානයේ කුඩා දරුවන් සිටින ප්‍රදේශයේ දොරවල් බිඳගෙන ඇතුළු කර ඇති අතර, එහිදී ආරක්ෂක නිලධාරියෙකුට ද තුවාල සිදුවී තිබේ. අනතුරුව තවත් ආරක්ෂක නිලධාරියෙකු සමඟ වෙඩි හුවමාරු කරගත් ප්‍රහාරකයා අවසානයේ තමන්ටම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්විය.
වාසනාවකට මෙන්, එම අවස්ථාවේදී දේවස්ථාන පරිශ්‍රයේ සිටි දරුවන් 150 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදු නොවීය. ඩෙට්‍රොයිට් (Detroit) හි FBI ප්‍රධානී ජෙනිෆර් රුන්යන් (Jennifer Runyan) ප්‍රකාශ කළේ මෙය යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදු කළ හිස්බුල්ලා ආභාෂය සහිත ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි.














