Elon Musk ගේ Starlink වැනි චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවාවල වේගය සහ ධාරිතාව ඉහළ නැංවීම සඳහා පනවා ඇති විදුලි බල සීමාවන් ලිහිල් කිරීමට ඇමරිකානු සන්නිවේදන කොමිසම (FCC) තීරණය කර තිබේ. 1990 දශකයේ සිට පැවති පැරණි නීති සංශෝධනය කිරීම හරහා චන්ද්‍රිකා අන්තර්ජාල වේගය දැනට පවතින මට්ටමට වඩා හත් ගුණයකින් පමණ ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම නව පියවර හරහා ඇමරිකානු ආර්ථිකයට ඩොලර් බිලියන 2ක පමණ ප්‍රතිලාභයක් ලැබෙනු ඇති අතර, විශේෂයෙන්ම දුෂ්කර සහ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට තත්පරයට ගිගාබිට් 1ක් (1Gbps) දක්වා වූ ඉතා ඉහළ වේගයකින් යුත් අන්තර්ජාල පහසුකම් ලබා දීමට හැකි වනු ඇත. කෙසේ වෙතත්, Viasat සහ DirecTV වැනි අනෙකුත් චන්ද්‍රිකා සේවා සපයන්නන් මෙම බල සීමාවන් ඉහළ නැංවීම නිසා සිය සංඥාවලට බාධා ඇති විය හැකි බවට සිය විරෝධය පළ කර තිබේ.














