මෙම වසරේ ගිම්හානයේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටින එංගලන්ත සහ ස්කොට්ලන්ත ක්‍රීඩා ලෝලීන්ට ෆිෆා (FIFA) නිල ප්‍රතිවිකුණුම් වේදිකාව හරහා ඉතා ඉහළ මිල ගණන් ගෙවීමට සිදුව තිබේ. පසුගිය අඟහරුවාදා වන විට මෙම කණ්ඩායම් දෙක සහභාගී වන මූලික වටයේ තරග හයක් සඳහා ප්‍රවේශපත්‍ර 6,135 ක් පමණ විකිණීමට ඉදිරිපත් කර තිබුණි.
දැනට ෆිෆා ආයතනය සෘජුවම ප්‍රවේශපත්‍ර අලෙවි නොකරන අතර, ලෝක කුසලාන ප්‍රවේශපත්‍ර හිමිකරගත් ඕනෑම අයෙකුට තමන් කැමති මිලකට මෙම වේදිකාව හරහා ඒවා යළි විකිණීමට අවස්ථාව දී ඇත. මෙහිදී සිදුවන සෑම ගනුදෙනුවකින්ම 30% ක ගාස්තුවක් (මිලදී ගන්නාගෙන් 15% ක් සහ විකුණන්නාගෙන් 15% ක් ලෙස) ෆිෆා ආයතනය ලබා ගනී.
ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන විශාල එංගලන්ත ප්‍රජාව හේතුවෙන් ඩලස්, බොස්ටන් සහ නිව්යෝර්ක් හි පැවැත්වෙන එංගලන්තයේ තරග සඳහා දැඩි ඉල්ලුමක් පවතී. එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර පැවැත්වෙන සමාරම්භක තරගයේ ලාභම ප්‍රවේශපත්‍රයක මුල් මිල පවුම් 201 ක් වුවද, ප්‍රතිවිකුණුම් වේදිකාවේ එය පවුම් 628 (රුපියල් ලක්ෂ 2.5 කට වඩා වැඩි) දක්වා තෙගුණයකින් ඉහළ ගොස් ඇත.
වඩාත්ම කැපී පෙනෙන මිල ඉහළ යාම වාර්තා වන්නේ හතරවන කාණ්ඩයේ (Category 4) ප්‍රවේශපත්‍රවලිනි. මුලින් පවුම් 45 ක් වැනි අඩු මුදලකට අලෙවි කළ මෙම ප්‍රවේශපත්‍ර දැන් පවුම් 1,700 ඉක්මවූ මිල ගණන් යටතේ ලැයිස්තුගත කර ඇත. ඇතැම් ප්‍රවේශපත්‍ර සඳහා පවුම් 13,110 (රුපියල් ලක්ෂ 50 කට ආසන්න) වැනි අතිවිශාල මුදලක් විකුණන්නන් විසින් ඉල්ලා තිබේ. ක්‍රීඩා ලෝලීන්ට දැන් ඉතිරිව ඇත්තේ මෙම අධික මිල ගණන් ගෙවා ප්‍රවේශපත්‍ර ලබා ගැනීම හෝ ඉදිරි සති කිහිපය තුළ ෆිෆා ආයතනය විසින් අලුතින් ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටීම පමණි.
















