හිටපු චෙල්සි (Chelsea) සහ ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් ක්‍රීඩකයෙකු වන ෆිලිපේ ලුයිස් (Filipe Luis), බ්‍රසීලයේ ෆ්ලමෙන්ගෝ (Flamengo) පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමට එම ක්‍රලීඩා සමාජය අද (මාර්තු 03) තීරණය කර තිබේ. පුදුමයට කරුණ නම්, මෙම තීරණය ගෙන ඇත්තේ මදුරේරා (Madureira) කණ්ඩායමට එරෙහිව 8-0 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා Campeonato Carioca තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා පැය කිහිපයකට පසුව වීමයි.
වසර 2024 සැප්තැම්බර් මාසයේදී වගකීම් භාරගත් 40 හැවිරිදි ලුයිස්, සිය තරග 100ක කාලසීමාව තුළ කුසලාන 7ක් ජයග්‍රහණය කිරීමට කණ්ඩායම මෙහෙයවීය. ඒ අතර 2025 Copa Libertadores ශූරතාවය දිනා ගැනීම විශේෂත්වයක් වන අතර, එමගින් ඔහු ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස එම කුසලානය දිනූ 9 වන පුද්ගලයා බවට පත් විය. මීට අමතරව පසුගිය වසරේ පැවති ෆිෆා සමාජ ලෝක කුසලානයේදී චෙල්සි කණ්ඩායම පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට ද ඔහුගේ කණ්ඩායම සමත් විය.
කෙසේ වෙතත්, 2026 වසරේ ආරම්භයේදීම Supercopa do Brasil සහ Recopa Sudamericana යන තරගාවලි දෙකෙහිම අවසන් මහා තරගවලදී පරාජය වීම සහ මේ වන විට ලීග් ප්‍රසාද ලකුණු සටහනේ 11 වන ස්ථානය දක්වා පසුබැසීම මෙම ඉවත් කිරීමට හේතු වී ඇති බව ක්‍රීඩා විචාරකයෝ පවසති. ලුයිස් සමඟ ඔහුගේ සහායක පුහුණුකරු අයිවන් පාලන්කෝ සහ ශාරීරික පුහුණුකරු දියෝගෝ ලින්හාරෙස් ද කණ්ඩායමෙන් ඉවත් වී තිබේ.
එළඹෙන ඉරිදා ෆ්ලූමිනෙන්සෙ (Fluminense) කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ෆ්ලමෙන්ගෝ කණ්ඩායම නව පුහුණුකරුවෙකු යටතේ ක්‍රීඩා කිරීමට නියමිතය.














