ධීවර ප්‍රජාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැලසීම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය (MSDFAR) සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් දත්ත පද්ධතිය (DRP) ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇත. මේ සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (03) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේදී සිදු වූ අතර, මෙහි ප්‍රධානතම ප්‍රතිඵලයක් ලෙස ධීවර බලපත්‍ර ලබා දීමේ එක්දින සේවාව (One-Day Service) ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
2020 වසරේ සිට ක්‍රියාත්මක ධීවර දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ යාත්‍රා ලියාපදිංචිය, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ යාත්‍රා නිරීක්ෂණය (VMS) සහ මාර්ගගත ගෙවීම් ඇතුළු සේවාවන් රැසක් දැනටමත් ඔන්ලයින් (Online) ක්‍රමයට පරිවර්තනය කර ඇත. රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘ජාතික තීරණාත්මක තොරතුරු පද්ධති’ 37 අතුරෙන් 11 වන ස්ථානයට මෙම MSDFAR පද්ධතිය නම් කර තිබීම එහි ඇති වැදගත්කම මනාව පැහැදිලි කරයි.
මෙම වසර තුළ බහුදින යාත්‍රා වලට අමතරව අනෙකුත් ධීවර යාත්‍රා සඳහා ද මෙම ඩිජිටල් පද්ධතිය හඳුන්වා දෙනු ලැබේ. මෙම නව ගිවිසුම හරහා යාත්‍රා හිමියන්ගේ සහ ධීවරයින්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමේදී මතු වූ ගැටලු නිරාකරණය කරගැනීමට අපේක්ෂිතය. ඉදිරියේදී දෙපාර්තමේන්තු දෙකෙහි තොරතුරු තාක්ෂණ අංශ මගින් දත්ත හුවමාරු කිරීමේ තාක්ෂණික කටයුතු සිදු කිරීමට නියමිත අතර, එමගින් ධීවර දෙපාර්තමේන්තුවේ මාර්ගගත සේවාවන් තවදුරටත් පුළුල් වනු ඇත.
මෙම අවස්ථාවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහත්මිය සහ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














