ආසන පටි පැළඳ නොසිටීමේ සිද්ධියක් මුල් කරගනිමින්, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් අපහාස කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් පසු මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ 33 හැවිරිදි බස් රියදුරෙකු සහ කටාන ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් සිව් දෙනෙකි.
සිද්ධිය වාර්තා වන අන්දමට, පසුගිය 16 වන දින මීගමුව ප්‍රදේශයේ පිරිසක් ලේලන්ඩ් බස් රථයකින් කතරගම වන්දනාවේ ගොස් ආපසු එන අතරතුර මත්තල පිවිසුමේදී පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී ආසන පටි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, පිරිස ආවේගශීලීව හැසිරෙමින් ජනාධිපතිවරයාට සහ පොලීසියට බැන වැදී ඇති අතර එම දර්ශන ජංගම දුරකථන මඟින් පටිගත කර අන්තර්ජාලයට මුදාහැර තිබේ.
සැකකරුවන් පැමිණි බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි ඉදිරිපස අනාරක්ෂිත ලෙස යකඩ වැටවල් සවිකිරීම ඇතුළු වැරදි රැසක් සම්බන්ධයෙන් මෝටර් රථ පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිදුවීම අවස්ථාවේදී නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මත්තල පිවිසුමේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් ලබා දී ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.














