ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කස්ගන්ජ් (Kasganj) දිස්ත්‍රික්කයේදී එකම පවුලේ පස්දෙනෙකු සිය නිවස තුළ මියගොස් සිටියදී හමුවීමේ අතිශය ශෝචනීය පුවතක් වාර්තා වේ. මූලික පොලිස් පරීක්ෂණවලට අනුව මෙය පවුලේ ප්‍රධානියා විසින් සෙසු සාමාජිකයන් ඝාතනය කර සියදිවි නසාගැනීමක් (Murder-Suicide) බවට සැක කෙරේ.
මියගිය පිරිස අතර 50 හැවිරිදි සත්‍යවීර්, ඔහුගේ 48 හැවිරිදි බිරිඳ රාම් ශ්‍රී සහ වයස අවුරුදු 9ත් 12ත් අතර පසුවන දරුවන් තිදෙනෙකු වන ප්‍රාචි, අමරාවතී සහ ගිරිෂ් යන අය වෙති. නිවස ඇතුළතින් ඉබි යතුරු දමා තිබූ අතර, සත්‍යවීර්ගේ සිරුර ගෙල වැලලාගත් තත්ත්වයේත්, සෙසු පිරිසගේ සිරුරු ඇඳ මත පොරෝනයකින් වසා තිබියදීත් සොයාගෙන ඇත.
මෙම ඛේදවාචකයට ප්‍රධානතම හේතුව දැඩි මූල්‍ය දුෂ්කරතා (Financial Hardship) විය හැකි බවට අලිගාර් නියෝජ්‍ය පොලිස්පති ප්‍රභාකර් චෞද්‍රි මහතා ප්‍රකාශ කළේය. දින දෙක තුනක් තිස්සේ පවුලේ පිරිස නිවසින් පිටතට නොපැමිණීම හේතුවෙන් අසල්වාසීන් පොලිසියට කළ දැනුම්දීමක් මත මෙම සිරුරු සොයාගෙන තිබේ. දැනට අධිකරණ වෛද්‍ය කණ්ඩායම් සහ නිල සුනඛයන් යොදාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර මරණ පරීක්ෂණ වාර්තාවලින් පසු මරණයට නිශ්චිත හේතුව තහවුරු වනු ඇත.















