පකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ, ඇෆ්ගනිස්ථාන දේශ සීමාව ආසන්නයේ පිහිටි කොහාට් (Kohat) නගරයේදී සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අඟහරුවාදා දින සිදු වූ මෙම ප්‍රහාරයේදී සන්නද්ධ පිරිස් විසින් පොලිස් ජංගම රථයකට සැඟවී සිට ප්‍රහාර එල්ල කර ඇති අතර, මියගිය පිරිස අතර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ද වන බව වාර්තා වේ. ප්‍රහාරකයින් විසින් පොලිස් රථය ගිනිබත් කර ඇති බව ද විදේශ මාධ්‍ය සඳහන් කරයි.
මෙම සිදුවීමට දිනකට පෙර අසල පිහිටි කරක් (Karak) නගරයේදී එල්ල වූ ඩ්‍රෝන සහ තුවක්කු ප්‍රහාරයකින් පැරමිලිටරි භටයින් තිදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබුණි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාර දෙකෙහිම වගකීම මෙතෙක් කිසිදු සන්නද්ධ කණ්ඩායමක් විසින් භාරගෙන නොමැත. මෙම ප්‍රහාර මාලාව වාර්තා වන්නේ පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශ සීමා ආතතීන් යළිත් උත්සන්න වී ඇති පසුබිමක ය.
පකිස්ථානය පසුගිය සෙනසුරාදා ඇෆ්ගනිස්ථානය තුළ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ අතර, ඔවුන් ප්‍රකාශ කළේ තම රට තුළ සිදුවන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතු සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බවයි. එහෙත් එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් 13 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇෆ්ගනිස්ථාන බලධාරීන් පෙන්වා දෙති. තමන්ගේ රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් පකිස්ථානය එල්ල කළ මෙම ප්‍රහාරය “භීෂණ ක්‍රියාවක්” බව තලෙයිබාන් රජයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් මහතා අද (24) ප්‍රකාශ කර සිටියේය.














