• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි වසර 3 තුල රට තිරසාර සංවර්ධනයට.. ජනතාවගේ සහයෝගය අවශ්‍යයි – ජනපති

4 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි වසර 3 තුල රට තිරසාර සංවර්ධනයකට ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඒ වෙනුවෙන් ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (04) ජාතික නිදහස් සැමරුම අමතමිනි. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ අපේ රටට පුර්ණ නිදහස ලබා ගැනිම සහ නිදහස ලබා ගැනීමට සහාය වු සියළු දේශ තමාගේ ගෞරවය පුදකරන බවයි.

රට තුළ සම්පුර්ණ මාධ්‍ය නිදහස තිබෙනවා. පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදී තමන් කැමැති අයට පත් කිරීමටත් දේශපාලනය කිරීමටත් හැකියාව තිබෙන බව හෙතෙම පැවසිය. අප සියළු දෙනාට වගකීම් තිබෙන බවත් එම වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමනක් කතා කිරිම සුදුසුවන්නනොවන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසිය.

රටක් නිසි දිශාතනිතයකට ගෙන ඒමට සියළු දෙනාගේ කැප කිරම් කල යුතු බව වෙනස් වන අය දෙස බලා රට වෙනුවෙන් නිවැරදි දේ කිරිම මිස සියළු දෙනා සතුටු කිරීම නොවන බව ජනාධීපතිවරයා අවධාරණය කලේය.

අනාගතය ගැන සුබවාදිව සිතා කතා කලයුතු විටයි අප රටට යහපත් වෙන්නේ බවත් අසුබවාදීන් ලොකය වෙනස් කිරිමට හැකියාවක් නොමැති බව හෙතෙම කියා සිටියේය.

ප්‍රශ්ණයකට විසදුමක් නොසොයා විචේචනය කරන පිරිස් තමා බහුතරය සිටින්නේ නමුත් දැක්ම කරා කණ්ඩායමක් ගෙනයාම පහසු නොවන බව ජනාධිපතිවරයා අවදාරණය කලේය.

යම් කාරණවලදී දේශිය මෙන්ම විදේශිය බලවේග සංවිධානය වන බවත් ඔබට එරෙහිව සිදුවනවා සිතන අවස්ථා තිබෙන අතර ජනතා නායකකයෙකු වශයෙන් ප්‍රශ්ණවලින් පැන යාම නොව ඒවාට විසදුම් ලබා දිම කරමින් සිටින ජනාධිපතිවරයා කියා සිටියේය.

ධනාත්මක සිතා බලා කටයුතු කරන පිරිස් සිටිමෙන් තමයි රටක් දියුනු වෙන්නේ අතර දුෂ්කර කාල සැමදා පවතින්නේ නැති බවත් ඒවාට මුහුණ දෙන්න ශක්තිමත්ම පිරිසක් අවශ්‍ය බව ද හෙතෙම අවධානර්‍ය කලේය. මේ අභියෝගවලට අවශ්‍ය ධනාත්මක චින්තනයක් ඇති පිරිස් අවශ්‍ය බවත් වර්තමානයේ මුහුණ දෙන ගැටළු දිර්ඝ කාලීන ඒවා නොව. නමුත් ඒවා වෙනුවෙන් සුබ වාදිව මුහුණ දිමක් කල යුතු බව හෙතෙම පැවසිය.

 

74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතිය අමතමින්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව.

 

අති පූජනීය ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි,
සෙසු පූජා ප්‍රසාදීන් වහන්සේලාගෙන් ද අවසරයි,
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි,
ගරු අග්‍රවිනිශ්චයකාරතුමනි,
ගරු විපක්‍ෂනායකතුමනි,
ගරු අමාත්‍යවරුනි, ගරු ආණ්ඩුකාරවරුනි,
ගරු රාජ්‍ය අමාත්‍යවරුනි,
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි,
ගරු තානාපතිවරුනි, මහ කොමසාරිස්වරුනි,
ජනාධිපති ලේකම්තුමා ප්‍රධාන සියලුම රාජ්‍ය නිලධාරීනි,
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, සහ යුද්ධ හමුදාධිපතිතුමනි,
නාවික හමුදාධිපතිතුමනි, ගුවන් හමුදාධිපතිතුමනි, පොලිස්පතිතුමනි,
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමනි,
සම්භාවනීය අමුත්තනි,
රණවිරුවනි,
සියලු ශ්‍රී ලාංකික ‍සහෝදර සහෝදරියනි,
ආදරණීය දූ දරුවනි.

නිදහස් රටක ගෞරවාන්විත පුරවැසියෙක් ලෙස ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් ඉතිහාසය පුරා විවිධ රටවල ජනතාව අරගල කර තිබෙනවා, සටන් වැදී තිබෙනවා, විශාල පරිත්‍යාගයන් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේත් වසර 2500කට වැඩි ඉතිහාසය තුළ විවිධ කාල වකවානුවල දී විදේශ ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ දුටුගැමුණු, වළගම්බා, මහා පැරකුම්බා, විජයබාහු, සවෙනි පැරකුම්බා වැනි ශ්‍රේෂ්ඨ රජවරු විදේශිකයන්ගෙන් ‍රට මුදා ගෙන එක්සේසත් කළා.

අවසාන වශයෙන් වසර 450 ක පමණ කාලයක් පැවති යුරෝපීය යටත් විජිත පාලනයන්ගෙන් අපේ රට නිදහස් වී දැනට වසර 74ක් වෙනවා. නිදහසින් පසුවත් දශක 3 කට ආසන්න කාලයක් ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් හරහා මේ රට දෙකඩ කිරීමේ උත්සාහයකට එරෙහිව සටන් කරන්නට අපට සිදු වුනා.

අද වන විට ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ප්‍රජාතන්ත්‍රවාදී ‍රටක්. අප එහි අභිමානවත් පුරවැසියන්.

ඉතිහාසය පුරා විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් අපේ රටට පූර්ණ නිදහස ලබාගැනීමට සහ ලබා ගත් නිදහස තහවුරු කිරීමට ඇප කැප වුනු සියලු දේශප්‍රේමීන්ට මගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරනවා.

ජාති, ආගම් භේදයකින් තොරව සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම අද රටේ ඕනෑම ප්‍රදේශයක නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. තමන් කැමති ආගමක් ඇදහීමට නිදහස තිබෙනවා. ස්වාධීන මතයන් දැරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තිබෙනවා. රට තුළ සම්පූර්ණ මාධ්‍ය නිදහසක් තිබෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියන්ට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් හරහා තම මහජන නියෝජිතයන් පත්කර ගැනීමටත්, කැමති අයට දේශපාලන ක්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමටත් නිදහස තිබෙනවා.

මෙය අප සියලු දෙනාගේ ම සතුටට හා අභිමානයට හේතුවක්.

නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අප සියලු දෙනාටම අයිතිවාසිකම් තිබෙනවාක් මෙන්ම වගකීම් ද තිබෙනවා.

ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරන විටයි. වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු නැහැ.

රටක නිදහස වඩාත් අර්ථවත් වන්නේ එම රට, සමාජ, දේශපාලන හා ආර්ථීක යන සියලු අංශවලින් ශක්තිමත් වූ විටයි. ඒ සඳහා සක්‍රීයව දායක වීමේ අවස්ථාව රජයට වගේම ජනතාවටත් තිබෙනවා.

රටක් නිසි දිශානතියකට මෙහෙයවීමේ දී ඒ සඳහා රටේ සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු විය නොහැකි බව අපි දන්නවා. වෙනස් නොවන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප සැලසුම් කොට ඇති දේවල් අතහැර දමන්නට අප සූදානම් නැහැ. අපේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලු දෙනාම සතුටු කිරීම නොවෙයි.

අනාගතය දෙස සුබවාදී ව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපට අපේ ඉදිරි ගමන සාර්ථක කර ගත හැක්කේ. ජයග්‍රාහී ගමනක් වෙනුවෙන් අවශ්‍ය කැප කිරීම් කළොත් පමණයි අපට මුහුණ දෙන්නට වන අභියෝග ජයගත හැක්කේ.

අසුබවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැහැ. ඔවුන්ට ඒ සඳහා හැකියාවක් ඇත්තේත් නැහැ. ප්‍රශ්නයකට විසඳුමක් ඉදිරිපත් නොකොට විවේචනය කරන්නට පමණක් පුරුදු වී ඇති අයට අනාගතය ගැන දැක්මක් නැහැ.

රටක නායකයෙකුට බොහෝ දුෂ්කරතා, විපත්, ගැටලු හා අභියෝගවලට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදු වෙනවා. දැක්මක් කරා කණ්ඩායමක් මෙහෙයවීම පහසු නැහැ. කෙතරම් හොඳ අරමුණක් වෙනුවෙන් වුවත් පවතින ක්‍රමවේදයන් වෙනස් කිරීම පහසු නැහැ. යම් කාරණාවල දී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා. සමහර විට ඔබ අවට සිදුවෙන සෑම දෙයක්ම ඔබට එරෙහිව සිදුවන කුමන්ත්‍රණයක් මෙන් පෙනෙන අවස්ථා තිබෙනවා.

ජනතාව නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මේ සියලු අර්බුද කළමනාකරණය කරගෙන රට ඉදිරියට මෙහෙයවීම මිස ප්‍රශ්නවලින් පළා යාම නොවෙයි. ඒ සඳහා අවශ්‍ය කරන ධනාත්මක මානසිකත්වය අප සතුව තිබෙනවා. රට මුහුණ දෙන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය කරන නායකත්වය ලබා දීමට මම හැමවිටම සූදානම්.

ලෝකය වෙනස් කළෙත්, වෙනස් කරන්නේත් ධනාත්මක අදහස් තිබෙන, අනාගතය දෙස සුබවාදී ව සිහින දැක ඒවා සාක්ෂාත් කරගන්නට උත්සාහ කළ පුද්ගලයන් විසිනුයි. මේ බව ඉතිහාසය පුරාම අපට පෙනෙනවා.

සෑම දියුණු රටකම සමාජ ප්‍රගමනයට හේතු වූයේ ඒ රටවල නායකයන්ගේ හා ජනතාවගේ තිබුණ සුබවාදී අදහසුයි.

අතීතයේ අපේ රජවරුත් රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි සුවිසල් නිර්මාණ කළේ එවැනි සුභවාදී චින්තනයකිනුයි. මින්නේරිය වැව, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, යෝධ ඇළ වැනි නිර්මාණ කළ විශිෂ්ට වාරි තාක්ෂණයක් එදා අපට තිබුණා. සීගිරිය වැනි නගර නිර්මාණ අදත් ලොව විස්මයට පත් කරනවා. ලංකාව පුරාතන ලෝකයේ සුප්‍රකට ම නාවික කේන්ද්‍රස්ථානයක්. එදා අපට එවැනි දේ කරන්නට පුළුවන්කම තිබුණා නම් අනාගතයේත් ලෝකය සමඟ තරඟ කරන්නට අපට පුළුවන් විය යුතුයි.

ඒ සඳහා අත්‍යවශ්‍යම සාධකය වන්නේ අපි අප ගැන තබන විශ්වාසයයි.

දුෂ්කර කාල හැමදාමත් ඒ ලෙසම පවතින්නේ නැහැ. දුෂ්කර කාලවලට මුහුණ දීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. ඒ නිසා අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ උපකාරයක් නොවෙයි. ඒ නිසා අපි සියලු දෙනාටම විශාල වගකීමක් තිබෙනවා, මේ අර්බුදයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය ධනාත්මක චින්තනය රට තුළ ගොඩනගන්නට.

මෑතකාලීන ඉතිහාසයේත් අපි බරපතල ගැටලු වලට මුහුණ දී ඒවාට විසඳුම් සොයා ගෙන තිබෙනවා. ත්‍රස්තවාදය කිසි විටක යුද්ධයකින් පරාජය කළ නොහැකිය කියා එදා සර්ව අසුබවාදීන් දිගින් දිගටම කියද්දී ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, ජෙන‍රාල් විජය විමලරත්න වැනි අභීත හමුදා නායකයන් ත්‍රස්තවාදය පරාජය කළ හැකිය යන ධනාත්මක චින්තනය ඔවුන් යටතේ සටන් කළ හමුදා නිලධාරීන්ට කා වැද්දුවා. පසුකාලීනව නිවැරදි දේශපාලන නායකත්වයක් යටතේ වසර 3 1/2 ක වැනි කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කරන්නට අපට හැකි වුනේ අපේ හැකියාවන් ගැන අප තුළ තිබූ විශ්වාසය නිසායි.

අප වර්තමානයේ මුහුණ දෙන අර්බුද කිසිවක් දීර්ඝකාලීන ගැටලු නොවෙයි. සුබවාදී ප්‍රවේශයකින් අපට මේ ගැටලුවලට පිළිතුරු සොයන්නට පුළුවන්. නමුත් ඒ වැඩ පිළිවෙළ ඉක්මන් කර ගැනීම සඳහා අප සෑම කෙනෙකුට ම කළ හැකි වැඩ කොටසක් තිබෙනවා. තම වගකීම නිසි ලෙස ඉටු කිරීමෙන් අපි සියලු දෙනාම රට වෙනුවෙන් අපේ උපරිම දායකත්වය ලබා දෙන්නට උත්සාහ කළ යුතුයි.

කොවිඩ් -19 වසංගතය පාලනයට එකම විසඳුම එන්නත්කරණය බව අපි කල් වේලා ඇතුවම වටහා ගත්තා. ඒ අනුව ඉලක්කගත ජනගහනයෙන් 85% කට වැඩි ප්‍රමාණයකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී, රෝග තත්ත්වය පාලනය කොට, සාමාන්‍ය ජන ජීවිතය යළි ආරම්භ කරන්නට අපට හැකි වී තිබෙනවා. මේ අවස්ථාව වන විටත් ජනතාවට උත්ප්‍රේරක මාත්‍රාව ද ලබා දීම සඳහා අවශ්‍ය කරන සියලු ම එන්නත් ලංකාවට ගෙන්වා අවසන්.

ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික ගැටලුවලට හේතු සොයමින් වසර ගණනාවක් ආපස්සට යාමට වඩා කාලෝචිත වන්නේ ඒ සඳහා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් සෙවීමයි. රජයක් වශයෙන් අපි අවධානය යොමු කොට තිබෙන්නේ ඒ සඳහායි.

ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් අපි කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන අංශ තුනම දියුණු කළ යුතුයි. දේශීය නිෂ්පාදනය දිරි ගන්වන ගමන්ම අපනයන ආදායම වැඩි කරගත හැකි මාර්ග ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වූ අපේ ජාතික ප්‍රතිපත්ති ඉතාමත් පැහැදිලි වුනත් ඒවා ක්‍රියාවට නැංවීමේ දී මීට වඩා ක්‍රියාශීලී දායකත්වයක් සෑම ක්ෂේත්‍රයකම තිබිය යුතුයි.

අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියේ දී ආයෝජන අත්‍යවශ්‍ය ම සාධකයක්. ආයෝජන දිරිගැන්වීමට රජය හැමවිටම කටයුතු කරන අතර, අපට දේශීය ආයෝජන මෙන්ම විදේශීය ආයෝජනත් අවශ්‍යයි. විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපෘති, නවීන තාක්‍ෂණ දැනුම අවශ්‍ය වන කර්මාන්ත, ගෝලීය වෙළඳපොළ අවස්ථා අපට විවෘත කරන නව ව්‍යාපාර ආදිය සඳහා විදේශීය ආයෝජන වැදගත් වෙනවා. දේශපාලන අරමුණු මුල්කරගෙන දේශීය හෝ විදේශීය ආයෝජනවලට එරෙහිව වැරදි මත ජනගත කරන්නට උත්සාහ කරන පිරිස් ගැන ජනතාව වඩාත් පරීක්‍ෂාකාරී විය යුතුයි.

ව්‍යවසායකත්වය දිරිමත් නොකොට, ව්‍යවසායකයන්ට ඇති බාධා ඉවත් නොකොට, අපට ආර්ථික සංවර්ධනය කඩිනම් කරන්නට බැහැ. විවිධ අවදානම් මැද්දේ තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කොට තවත් අයට රැකියා හා ආදායම් ඉපයීමේ අවස්ථා ලබා දෙන ව්‍යවසායකයන්ට මීට වඩා ගෞරවයකින් හා මිත්‍රශීලී ලෙස සැලකීමට අපට වගකීමක් තිබෙනවා. රටේ සංවර්ධනයට ව්‍යවසායකයන්ගේ දායකත්වය හොඳින් වටහා ගෙන පවතින නීතිමය රාමුව තුළ ඔවුන්ට අවශ්‍ය සියලු උපකාර කඩිනමින් කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතුයි. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදීත්, ආයෝජනයන් සඳහා අනුමැතීන් ලබා දීමේදීත් සිදුවන විශාල ප්‍රමාදයන් වළක්වාලීමට කටයුතු කිරීම හරහා රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය වඩාත් සක්‍රීය කිරීමට පුළුවන්.

වඩා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් මේ අවස්ථාවේ රටේ සිදු වෙමින් පවතිනවා. පාසල් අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙක් ම රටේ ආර්ථික ක්‍රියාවලියට දායකත්වයක් ලබා දිය හැකි ශිල්පයක් හෝ කර්මාන්තයක් ප්‍රගුණ කරන්නට උත්සාහ ගත යුතුයි. තමන් තෝරාගත් ක්ෂේත්‍රය තුළ තම දැනුම වැඩිකර ගැනීමට මෙන්ම හැකි නම් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි. ඒ හරහා රටේ ආර්ථික ක්‍රියාවලියට ඍජුව ම දායක වීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

ගොවිපළේ, කම්හලේ, වැඩපොළේ දහදිය හෙළන වැඩ කරන ජනතාව රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා. ඒ සියලු දෙනාට මගේ ගෞරවය පිරිනමනවා.

රටට විදේශ විනිමය සපයන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපට විශාල සම්පතක්. පසුගිය කාලයේ ඔවුන් රට වෙනුවෙන් පෙරට පැමිණ විශාල කැප කිරීම් කරමින් අපට සහයෝගය දුන් ආකාරය අපට අමතක වී නැහැ. ඔවුන් නිරන්තරයෙන් අපේ ආර්ථිකයට ලබා දෙන ශක්තිය අප ඉතාමත් අගය කොට සලකනවා. මම ආරාධනා කරනවා, සියලු ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තම උපන් බිමේ ආයෝජනය කරනා ලෙස. එමගින් රටේ අනාගතය ගොඩනැගීමට තවදුරටත් සක්‍රීය ව දායක වන්නට ඔබට අවස්ථාව ලැබෙනවා.

අප හමුවේ ඇති අභියෝග ජය ගෙන අපේ අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කර ගැනීමට නම් අප සියලු දෙනාටම වෙනස් වන්නට සිදු වෙනවා. අප සියලු දෙනාටම ඒ සඳහා යම් කැප කිරීම් කරන්නට සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ආදර්ශය දෙන්නට රටේ ජනාධිපතිවරයා ලෙස මම සූදානම්. දැනටමත් මා එය හැකි උපරිම මට්ටමෙන් ඉටු කරනවා. මා ඉල්ලා සිටිනවා සියලූම මැති ඇමතිවරුන්, හා අනෙකුත් දේශපාලනඥයින්ගෙන්, රටට ආදර්ශයක් වන ආකාරයට හැමවිටම කටයුතු කරන්නට කියා. ඔබ ජනතාවට ඒ ආදර්ශය සපයනවා නම්, රටේ බහුත‍රයක් ජනතාව ඔබව අනුගමනය කරාවි.

දේශීයත්වය අගයන, රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහි බලවේග ඉතා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා. මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් සැමවිටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා. දත්ත මත පදනම්ව කරුණු විමසා බලා, සත්‍යය හඳුනා ගෙන තීන්දු තීරණ ගන්නවා නම් කිසිවෙකුට ජනතාව නොමග යවන්නට බැහැ.

අනාගත පරපුර වෙනුවෙන් දිනූ නිදහස සැම විටම සුරකින බවටත්, අපේ රටේ ඒකීය බව, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවටත්, රාජ්‍ය නායකයා වශයෙන් මම ප්‍රතිඥා දී තිබෙනවා. ඒ ප්‍රතිඥාව අප හැම විටම සුරකිනවා.

සංස්කෘතික නිදහස සෑම ජන වර්ගයකටම වැදගත්. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති පාරම්පරික සිරිත් විරිත්, සාරධර්ම හා අපේකම ආරක්‍ෂා කිරීම මූලික වගකීමක් ලෙස අපි සලකනවා. පසුගිය කාලයේ විවිධ තර්ජනයන්ට ලක්වී විනාශ වෙමින් තිබුණ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ආරක්‍ෂා කොට ඒවා වැඩි දියුණු කරන්නට අප කටයුතු කොට තිබෙනවා.

අපි නීතියේ ආධිපත්‍ය සුරකින, ජාත්‍යන්තර සම්මුතීන්ට ගරු කරන රටක්. පටු අරමුණු මුල් කරගෙන ලංකාවට විවිධ චෝදනා එල්ල කරන්නට යම් පාර්ශ්ව උත්සාහ කළත් කිසිදු ආකාරයක මානව හිමිකම් කඩ කිරීමකට රජය අනුබල දී නැති අතර, ඉදිරියේදීත් එවැනි සිදුවීම්වලට ඉඩ තබන්නේ නැහැ.

මොනම හේතුවක් නිසාවත් මේ රට තුළ යළි අන්තවාදයට හිස ඔසවන්නට අප ඉඩ දෙන්නේ නැහැ. රජය ජනතාවට පොරොන්දු වූ ආකාරයටම අප අද ජාතික ආරක්ෂාව තහවුරු කොට තිබෙනවා.

ජනතාව විසින් වත්මන් රජයට වරම් ලබා දී තිබෙන්නේ අප විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවන්නටයි.

අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති රාමුව තුළ හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය, නව ලොවට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දේශීය ව්‍යවසායකත්වය දිරිගැන්වීම, අපනයන විවිධාංගීකරණය හා අගය වැඩි කිරීම, ආර්ථිකයේ නව පිම්මක් සඳහා තාක්ෂණය භාවිතය ප්‍රචලිත කිරීම වැනි අප විසින් හඳුනා ගත් ප්‍රමුඛතාවල කිසිදු වෙනසක් වී නැහැ.

ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනයගරුක, ගුණගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් යන මූලික අරමුණු ඉටුකර ගැනීම සඳහා අප කැප වී සිටිනවා.

මට රටේ නායකත්වය පැවරුණේ ඉතා දුෂ්කර අවස්ථාවකයි. පසුගිය වසර දෙක තුළ අනපේක්ෂිත ගැටලු රැසකට විසඳුම් සොයන්නට අපට සිදු වුනා. ඒ සියලු දුෂ්කරතා මැද සංවර්ධන කටයුතු රාශියක් සිදු කරන්නට අපේ රජයට හැකියාව ලැබුණා.

මගේ ඉතිරි ධුර කාලය තුළ රටේ තිරසාර සංවර්ධනයක් උදා කර ගැනීමට අවශ්‍ය සියලු සැලසුම් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මොන තරම් බාධක ආවත් අපේ රටේ බහුතර ජනතාව අනාගතය දෙස සුබවාදී ව බලා ඔවුන්ගේ නිසි දායකත්වය ලබා දුන්නොත් අපට ඒ අරමුණු ඉටුකර ගන්නට පුළුවන්.

නිදහසේ සැබෑ අරුත සාක්ෂාත් කර ගත් අභිමානවත් දේශයක් ගොඩනැගීම සඳහා එකතු වන ලෙස සියලූ ම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ට ඉත සිතින් මම ආරාධනා කරනවා.

ඔබ සැමට ස්තුතියි.

තෙරුවන් සරණයි.

 

 

 

 

 

 

Post Views: 4
Previous Post

74 වන ජාතික නිදහස් සැමරුම අදයි

Next Post

අම්බිකාගේ ප්‍රකාශය එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිරූපණය කිරීමක් – විදේශ අමාත්‍යංශය

editor

editor

Next Post

අම්බිකාගේ ප්‍රකාශය එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිරූපණය කිරීමක් - විදේශ අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved