ඕමානයේ මස්කට් නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවේදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ දේශනයක් පවත්වමින්, ඉන්දීය සාගර කලාපයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා සමුද්‍රීය හවුල්කාරිත්වයන්හි ඇති වැදගත්කම අවධාරණය කළේය. ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික සබඳතා සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, පුරාණ සේද මාවතේ සිට වර්තමානය දක්වා දෙරට අතර පවතින වෙළඳ සහ සංස්කෘතික බැඳීම් අනාගත ද්විපාර්ශ්වික සබඳතාවලට ස්ථාවර පදනමක් සපයන බවයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය “මස්කට්” නම් රසකැවිල්ල ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික මිශ්‍රණයට කදිම නිදසුනක් බව ඔහු සඳහන් කළේය.
මෙම වසරේ සමුළුවේ තේමාව වන “සමුද්‍රීය හවුල්කාරිත්වයේ නව ක්ෂිතිජයන් කරා ගමන් කිරීම” යන්න ශ්‍රී ලංකාවට විශේෂයෙන් අදාළ වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කොළඹ වරාය එවැනි හවුල්කාරිත්වයන්හි සාර්ථක ප්‍රතිඵලයක් බව පැහැදිලි කළේය. ලෝකයේ කාර්යබහුලම නැව් මාර්ගවල පිහිටා ඇති කොළඹ වරාය, ඈත පෙරදිග රටවල් යුරෝපය, අප්‍රිකාව සහ ඇමරිකාව සමඟ සම්බන්ධ කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. මෙම වසරේ මුලදී ක්‍රියාත්මක වීමට නියමිත අති නවීන “කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය” හරහා ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රය තවදුරටත් ඉහළ මට්ටමකට ඔසවා තැබීමට හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.
ජාත්‍යන්තර වෙළඳාමෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් සාගර මාර්ග හරහා සිදුවන බැවින්, නාවික නිදහස සහ සාගර ආරක්ෂාව තහවුරු කිරීම ජාත්‍යන්තර නීතියේ මූලික අවශ්‍යතාවයක් බව විජිත හේරත් මහතා මෙහිදී අවධාරණය කළේය. පාරිසරික තිරසාරභාවය සහ භූ දේශපාලනික ස්ථාවරත්වය ආරක්ෂා කරමින්, නීති මත පදනම් වූ සමුද්‍රීය පිළිවෙළක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියා පදනම (India Foundation) වැනි ආයතන ඉටු කරන කාර්යභාරය අගය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.














