සීගිරිය – පිදුරංගල මාර්ගයේ අද (17) උදෑසන සිදු වූ වන අලි ප්‍රහාරයකින් විදේශීය ජාතිකයෙකු මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 68 හැවිරිදි හංගේරියානු ජාතිකයෙකි. ඔහු සිය බිරිඳ සමඟ සීගිරිය සහ පිදුරංගල යා කරන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය වාර්තා වූ වහාම සීගිරිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, වන අලියාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ විදේශිකයා එම ස්ථානයේදීම මියගොස් ඇත. සීගිරිය සහ පිදුරංගල අවට සංචාරක කලාපවල වන අලි ගැවසීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්, එම ප්‍රදේශවල සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයින්ට වඩාත් විමසිලිමත් වන ලෙස බලධාරීන් මීට පෙර ද දැනුම් දී තිබුණි. මෙම මරණය සම්බන්ධයෙන් හංගේරියානු තානාපති කාර්යාලය දැනුවත් කිරීමටත්, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමටත් පොලිසිය මේ වන විට පියවර ගනිමින් සිටියි.














