පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “වන සුරැකුම” මෙහෙයුම් විමර්ශන මධ්‍යස්ථානයේ 1995 කෙටි දුරකතන අංකය වෙත පසුගිය මාස හතරක කාලය තුළ පැමිණිලි 240ක් ලැබී ඇති බව අනාවරණය වී තිබේ. ඊයේ (06) පරිසර අමාත්‍යාංශයේදී පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී මේ බව හෙළි වූ අතර, එම පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් අනුරාධපුර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත. වනාන්තර හෙළිපෙහෙළි කිරීම්, වනජීවීන්ට සිදුකරන හිංසන, කඩොලාන සහ තෙත්බිම් ගොඩකිරීම් වැනි පරිසර විනාශයන් පිළිබඳව මෙම පැමිණිලි ඉදිරිපත් වී තිබේ.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ අධීක්ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම සේවාව හරහා ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දැනටමත් නීතිමය පියවර රැසක් ගෙන ඇත. මෙම විමර්ශන ඒකකයේ කටයුතු තවදුරටත් විධිමත් කිරීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රමවේදයක් (SOP) හඳුන්වා දීමට ද මෙහිදී තීරණය විය. පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ඇතුළු වනජීවී සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවල උසස් නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.














