වත්තල, ගාල හන්දිය ප්‍රදේශයේදී විවිධ වර්ගයේ ජීව පතරොම් සහ සිම්පත් ඇතුළත් පාර්සලයක් සමඟ 35 හැවිරිදි සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද විශේෂ තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී සොයාගත් පාර්සලය තුළ ටී-56 ගිනිඅවි සඳහා භාවිත කරන පතරොම් 4ක්, රිවෝල්වර පතරොම් 4ක්, පිස්තෝල පතරොම් 2ක් සහ විවිධ ජංගම දුරකථන ජාලවලට අයත් සිම්පත් 11ක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු අධිකරණ කිහිපයකින්ම වරෙන්තු නිකුත් කර සිටි අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ගල්නෑව, කල්තොට සහ ඇල්පිටිය යන පොලිස් වසම්වලට අදාළව ඔහුට එරෙහිව විවෘත වරෙන්තු පවතින බව පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරු කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ අයෙකුද නැතහොත් මෑතකදී සිදුවූ ඝාතන සිදුවීම්වලට මොහුගේ සම්බන්ධයක් පවතීද යන්න අනාවරණය කර ගැනීම සඳහා පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය තීරණය කර ඇත. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














