හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන අතරතුර ඔහුට අඩන්තේට්ටම් සිදුවන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනා රජයේ ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවැනි තත්ත්වයන් පවතින බවට මෙතෙක් කිසිදු නිල පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
සුරේෂ් සලේ මහතාට පුවත්පත් මත නිදා ගැනීමට සිදුව ඇති බවත්, ඔහු මතින් මීයන් දිව යන අතර සෞඛ්‍යාරක්ෂිත නොවන තත්ත්වයන් හේතුවෙන් ඔහු දැඩි අපහසුතාවයට පත්ව සිටින බවටත් විමල් වීරවංශ මහතා මීට පෙර චෝදනා කර තිබුණි. මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මීට පෙර ද බොහෝ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිව්වන මහලට රැගෙන විත් ප්‍රශ්න කර ඇති නමුත් එවැනි තත්ත්වයන් පිළිබඳව කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවයි.
කෙසේ වෙතත්, මෙවැනි චෝදනා එල්ල වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පරීක්ෂණයක් පැවැත්විය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වූ සාක්ෂි මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














