සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාගත් සත්මහල් ගොඩනැගිල්ලක කුලී මුදල් චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ලබාගත් බවට චෝදනා ලැබූ හිටපු ප්‍රධාන ලිපිකරුවෙකු ලබන අප්‍රේල් 6 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (31) නියෝග කළේය.
බණ්ඩාරගම පදිංචි උක්වත්තගේ ඩග්ලස් නැමැති මෙම සැකකරු අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරුවෙකු ලෙස සේවය කර විශ්‍රාම ලැබීමෙන් පසු එහි ආපනශාලා හිමිකරු ලෙස කටයුතු කරමින් සිටියදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 2018 වසරේ සිට අමාත්‍යාංශය කුලියට ගෙන තිබූ ගොඩනැගිල්ලක කුලී මුදල් ගෙවීමේදී, රුපියල් ලක්ෂ 500කට ආසන්න වටිනාකමින් යුත් චෙක්පත් ලබාදීම වෙනුවෙන් එක් අවස්ථාවකදී ලක්ෂ 25 බැගින් අල්ලස් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
2023, 2024 සහ 2025 වර්ෂවලට අදාළව චෙක්පත් 7ක් මඟින් මෙම කෝටි දෙකක මුදල ලබාගෙන ඇති අතර, එම චෙක්පත් වෙනත් පුද්ගලයන් හරහා බැංකුවලින් මාරු කරගෙන ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර විමර්ශන ප්‍රගතිය ලබන 6 වැනිදා ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේය.














