2024 වසරේ පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් පැහැර හැරීම හේතුවෙන්, ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නීතිපතිවරයාට නියෝග කළේය.
2024 වසරේ දෙසැම්බර් 31 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකාර ප්‍රේමතිලක මහතා විසින් රුපියල් මිලියන තුනක මුදලක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතුව තිබුණි. එය සති හතරක් ඇතුළත සිදුකළ යුතු බවට නියම වුවද, ඔහු එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව අධිකරණයේදී අනාවරණය විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම කරුණු සලකා බැලුණි. එහිදී අධිකරණ නියෝගය හිතාමතාම පැහැර හැරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුට එරෙහිව අපහාස කිරීමේ චෝදනා ගොනුකරන ලෙස නීතිපතිට දැනුම් දුන් අතර, ලබන මාර්තු 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ප්‍රේමතිලක මහතාට නියෝග කෙරිණි.
ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම හේතුවෙන් අගතියට පත් සිසුන්ගේ මව්පියන් පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම වන්දනා මුදල නියම කර තිබුණි.














