හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී මෙරටට ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර සහ දෝෂ සහිත ඖෂධ හේතුවෙන් රෝගීන් මියගියේද යන්න තහවුරු කිරීමට වත්මන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපොහොසත් වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් ඔහු අවධාරණය කළ කරුණු කිහිපයක් පහත දැක්වේ. වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග පවතින නමුත්, අදාළ ඉමියුනොග්ලොබියුලින්, පිළිකා නාශක ඖෂධ සහ ප්‍රතිජීවක ඖෂධ මරණවලට හේතු වූයේද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත. අමාත්‍ය මට්ටමින් මේ පිළිබඳව අවධානය යොමු කළද, මෙතෙක් කිසිදු පැහැදිලි විද්‍යාත්මක නිගමනයකට එළඹ නොමැති වීම බරපතල ගැටලුවක් බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් ලබා දුන් බවට ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය ලේකම්වරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ද වෛද්‍ය සංජීව මහතාගේ විවේචනයට ලක් විය. නිදහස් සෞඛ්‍ය සේවය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳවැටීමට මෙවැනි ක්‍රියාපටිපාටි සෘජුවම බලපාන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














