සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් තමන්ට පනවා ඇති දඬුවම්වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය හෙට (10) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නියම කළේය.
මෙම අභියාචනා විභාගය පිළිබඳ තොරතුරු මෙසේය. අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් අද විභාගයට ගැනුණි. එහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය දේශන ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.
හෙට දිනයේදී අලි සබ්රි මහතා විසින් වැඩිදුර දේශන ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව මීට පෙර මහාධිකරණය මගින් ලබාදුන් තීන්දුවල නීත්‍යානුකූලභාවය මෙහිදී ප්‍රධාන වශයෙන් සලකා බැලේ.
















